
මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයන් දහසකට (1,000) ආසන්න පිරිසකට දකුණු කොරියාවේ රැකියා අවස්ථාවන් හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) නිවේදනය කරයි.
ඒ අනුව පිරිමි පුද්ගලයන් 923 දෙනෙකු සහ කාන්තාවන් 76 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ නිෂ්පාදන, ධීවර, සේවා සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍රයන්හි මෙම රැකියා අවස්ථාවන් විවෘත වී තිබේ.
දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා හිමි කරගත් 926 වැනි කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකික තරුණයින් 90 දෙනෙකු සඳහා අවසන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දීම ඊයේ (2026 මැයි 12) කාර්යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
මෙම පිරිස ඊයේ රාත්‍රියේම UL 470 දරන ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව ගියහ. මෙහිදී අදහස් දැක්වූ කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ, ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවට පවතින ඉල්ලුම තීරණය වන්නේ මෙරට තරුණ තරුණියන්ගේ කාර්යක්ෂමතාව සහ දක්ශතාව මත බවයි.
වර්තමානයේ රැකියා සඳහා විදේශගත වන තරුණ පිරිස සිය වගකීම් නිසි ලෙස ඉටු කිරීම, මීළඟ පරම්පරාවේ දහස් ගණනකට නව රැකියා අවස්ථා උදා කර ගැනීමට දමන ශක්තිමත් පදනමක් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
