
දිවයින පුරා පාසල් සඳහා සුහුරු පුවරු (Smart Boards) 4,570ක් ආනයනය කර බෙදාහැරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
අගමැතිනිය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න විසින් අද (22) දින පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ඒ අනුව 2024 වසරේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා ප්‍රතිපාදන යටතේ ලබාගත් සුහුරු පුවරු 1,000ක් පාසල් 1,000ක් වෙත බෙදාදී අවසන් කර ඇත.
එසේම 2025-2026 වසර සඳහා චීන ආධාර ව්‍යාපෘතිය යටතේ ආනයනය කළ සුහුරු පුවරු 900කින් පුවරු 500ක් මේ වනවිට පාසල් වෙත ලබාදී තිබෙන අතර, ඒවා සවිකිරීමේ කටයුතු ද සිදු කෙරෙමින් පවතින බව ඇය පැවසුවා.
ඊට අමතරව, ඩිජිටල් කාර්යසාධක බලකායේ මඟපෙන්වීම සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ පළාත් මට්ටමින් ප්‍රසම්පාදනය කළ සුහුරු පුවරු 2,670ක් සම්පූර්ණයෙන්ම බෙදාහැරීමට පියවර ගෙන ඇත.
අඳාළ සුහුරු පුවරු පාසල්වල සවිකිරීමේ කටයුතු ද මේ වනවිට සක්‍රීයව සිදු කෙරෙමින් පවතින බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
මේ අතර ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ පළාත් මට්ටමින් වැඩිම සුහුරු පුවරු සංඛ්‍යාවක් ලබාදී ඇත්තේ වයඹ පළාතට වන අතර එම සංඛ්‍යාව 524ක්.
එමෙන්ම බස්නාහිර පළාතට සුහුරු පුවරු 481ක්, නැගෙනහිර පළාතට 371ක්, ඌව පළාතට 363ක්, දකුණු පළාතට 311ක්, උතුරු මැද පළාතට 200ක්, මධ්‍යම පළාතට 170ක්, සබරගමුව පළාතට 150ක් සහ උතුරු පළාතට 100ක් බැගින් ලබාදී ඇත.
තවද අගමැතිනිය වැඩිදුරටත් කියා ඇත්තේ පාසල් පන්ති කාමර ඩිජිටල්කරණය කරමින් නවීන තාක්ෂණය සිසුන්ට සමීප කිරීම මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ බවයි.
