
මේ කියන්න යන්නේ අද දවසේ බොහෝ දෙනාගේ අවදානය දිනාගත යුතු සිද්ධිය පිළිබඳ කතාවක්.
මෙරෙට සිදුවන රථවාහන අනතුරු මරණ සහ බරපතල තුවාල අවම කිරීමේ අරමුණින්, ආසන පටි පැළඳීමේ නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දඩ පැනවීම ඊයේ සිට දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.
මෙම නීතියට අනුගත වීම සඳහා රියදුරන්ට ලබා දී තිබූ මාස තුනක සහන කාලය පසුගිය දෙසැම්බර් 24 වැනිදායින් අවසන් වූ බව එම සභාවේ සභාපති මංජුල කුලරත්න තහවුරු කළා.
මේ අනුව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරු මෙන්ම පසුපස අසුන්වල සිටින මගීන් ද ඇතුළුව සියලු දෙනාම ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරෙනවා.
අනෙකුත් සියලුම මාර්ගවල ධාවනය වන වාහනවල රියදුරු සහ ඉදිරිපස අසුනේ ගමන් ගන්නා මගියා අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතුයි.
අද සිට මාර්ගවල රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත්, නීතිය කඩ කරන්නන්ට එරෙහිව දඩ පැනවීමටත් උපදෙස් දී තිබෙනවා.
ආසන පටි පැළඳීම මගින් අනතුරකදී සිදුවිය හැකි මරණ හෝ බරපතල තුවාල ලැබීමේ අවදානම බෙහෙවින් අඩු බවත් මෙය රජයේ පුළුල් මාර්ග ආරක්ෂණ උපායමාර්ගයේ වැදගත් අංගයක් බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න පවසන්නේ.