
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. අදාළ අනතුරු ඇඟවීම් 2026 අගෝස්තු 06 වන දින පෙරවරු 9.00 සිට 2026 අගෝස්තු 07 වන දින පෙරවරු 9.00 දක්වා පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වෙන බව එම සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව, මට්ටම 2 (අවධානයෙන් සිටින්න) යටතේ මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කය උඩපලාත, දොලුව, මැදදුම්බර, දෙල්තොට, පන්විල, පස්බාගේ කෝරලේ, ගඟ ඉහළ කෝරලේ සහ උඩුදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කය අරණායක, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට සහ යටියන්තොට ප්‍රදේශ සඳහා අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කය නුවරඑළිය, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව, නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රදේශද මට්ටම 2 අනතුරු ඇඟවීම් යටතට ඇතුළත් කර ඇත. රත්නපුර දිස්ත්‍රික්කය ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර ප්‍රදේශ සඳහාද එම මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මේ අතර, මට්ටම 1 (විමසිලිමත් වන්න) යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල හා කුරුවිට ප්‍රදේශ සඳහාද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. අඛණ්ඩ වර්ෂාපතනය පවතින ප්‍රදේශවල ජනතාව නායයාම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි අවදානම් තත්ත්වයන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දෙයි.
පස් කඳුවල ඉරිතැලීම් ඇතිවීම, ජලය එක්රැස් වීම, ගස් හා විදුලි කණු නැඹුරු වීම හෝ අසාමාන්‍ය ශබ්ද ඇතිවීම වැනි ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යාමට සූදානම් වන ලෙසද ජනතාවට උපදෙස් ලබා දී තිබේ.
