මැදපෙරදිග යුද්ධයෙන් අපිට හොඳටම රිදෙයි ද ?


ලෝක වෙළඳපොළෙහි බොර‍තෙල් මිල වේගවත් ලෙස ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීම උත්සව සමය දක්වා කල්ගත යුතු නොවන බව ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය පවසයි.

අද (09) පැවති 'අද දෙරණ Big Focus' වැඩසටහනට සම්බන්ධවෙමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නට විය.

එහිදී මෙවැනි පසුබිමක මෙරට ඉන්ධන මිල ඉහළයාමේ තත්ත්වයට සූදානම් වීම සඳහා ආණ්ඩුව කඩිනම් පියවර ගතයුතු බව ද ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය පවසයි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා,

"පැහැදිලිව දැකිය හැකියි තෙල් මිලට අදාළව ලෝක වෙළෙඳපොළ තුළ තෙල් මිල ගණන් ඉහළ යෑම. පසුගිය සිකුරාදා තිබුණේ බෙරන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92ක් - 93 අතර. සඳුදා වෙළෙඳපොළ විවෘත වීමත් සමඟ ඩොලර් 115ක් දක්වා ඉහළ ගොස් තියෙනවා. ඒ අනුව ගෝලීය හා දේශීයව ඉන්ධන මිල ඉහළ යෑම, මේක පෙට්‍රල්, ඩීසල් හා ගෑස් මුලික වශයෙන් අනෙක් පැත්තෙන් ඉන්ධන භාවිත කරලා නිෂ්පාදනය කරන විදුලියත් ඉහළ යෑමට නියමිතයි.

මේ අනුව ලංකාවේ තෙල් අපි හිතුවොත් පෙට්‍රල් 92 වර්ගයේ මිල සාමාන්‍යයෙන් රු.360 - 370 මට්ටමට ඉහළ යාමට ඇති ඉඩකඩ ඉතා වැඩි. ප්‍රතිඵලය අමුතුවෙන් කිව යුතු නෑ. ඒ තුළ සෑම භාණ්ඩයක් හා සේවාවක්ම ඒ අනුව මිල ඉහළ යනවා. ඒ නිසා සමස්තයක් ලෙස ලෝකය තුළත් ලංකාව තුළත් ඉහළ උද්ධමනකාරී තත්ත්වයට මුහුණදෙන්න සිදුවේවි. දැනටමත් ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් යෝජනාවෙලා තියෙනවා පිරිවැය නිරූපිත ආකාරයට මිල ගණන් ඉහළ දැමීමට අපේක්ෂා කරනවා කියලා. ඒ කියන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමට සමාන්තරව දේශීයවත් තෙල් මිල ඉහළ දැමීමට සිදුවන බව. නමුත් අපි සාකච්ඡා කළ යුතු වෙනවා තෙල් මිල ඉහළ දමන ගමන් කුමන විකල්පයන් ගැන ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවදානය යොමු විය යුතුද කියන කාරණාව අපි ඉදිරියේ දී සාකච්ඡා කළ යුතුයි.

මම හිතන්නේ අප්‍රේල් උත්සව කාලය දක්වා කල්ගත යුතු නෑ කිසිසේත්ම මම දක්න්නේ කළ හැකිනම් ඉක්මනින් කළ යුතු වෙනවා මොකද ඉක්මනින් කිරීම එකපාර විශාල තෙරපුමක් ගෙන දෙනවාට වඩා ඒ තෙරපුම යම්කිසි ආකාරයකට පැතිරයාමට සැලැස්වීම වඩා යෝග්‍යයයි. මොකද එහෙම නොවුනොත් නිෂ්පාදන කටයුතු බිඳවැටීම කියන කාරණාව ඉතාමත්ම බරපතළ තත්ත්වයක් එනවා."

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post