
"අතිරේක බද්දක් ගැහුවා? වාහන මිල අහස උසට යයිද?" මේ දවස්වල සමාජ මාධ්‍ය පුරා ලොකු කලබලයක්! හැබැයි මේ කතාවේ ඇත්තම කතාව කියන්නයි මේ යන්නේ.
වාහන ආනයනය සම්බන්ධයෙන් අලුතින් අතිරේක බදු පනවා ඇති බවට පැතිර යන පුවත් ගැන රජයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ "කිසිදු අතිරේක බද්දක් පනවා නැති" බවයි.
මෙහිදී සිදුව ඇත්තේ අලුත් බද්දක් ගැසීම නොව, දැනටමත් පවතින 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද අය කරන ක්‍රමය වෙනස් කිරීම පමණයි.
පරණ ක්‍රමය: බද්ද අය කළේ වාහනය විකුණන අවස්ථාවේදී (මෙහිදී ඇතැම් වෙළඳුන් බදු ගෙවීම පැහැර හැර තිබෙනවා).
අලුත් ක්‍රමය: දැන් මෙම බද්ද වාහනය ලංකාවට ගෙන එන අවස්ථාවේදීම (රේගුවේදී) අය කර ගැනීමට තීරණය කර තිබෙනවා.
ඇතැම් ආනයනකරුවන් තමන් සතු වාහන තොග වැඩි මිලට විකුණා ගැනීමේ උපක්‍රමයක් ලෙස "මිල වැඩි වෙන්න යනවා" කියා සමාජය තුළ අනියත බියක් ඇති කරන බව ඇමතිවරයා පෙන්වා දෙනවා.
"බය වෙන්න එපා, රැවටෙන්න එපා. අතිරේක බදු පනවා නැහැ. ඇතැම් ආනයනයකරුවන් සමාජයේ බයක් හදනවා භාණ්ඩ මිල වැඩිවෙයි කියලා, මතයක් හදනවා. එය ඔවුන්ගේ භාණ්ඩ විකුණා ගැනීමේ උපක්‍රමයක්. අපි කියනවා මහජනතාවට රැවටෙන්න එපා කියලා. තොරතුරු මත තීන්දු තීරණ ගන්න. එක එක්කෙනාගේ ප්‍රකාශ මත යන්න එපා, කිසිදු ආකාරයක අතිරේක බද්දක් පැනවීමට පියවර ගෙන නැහැ.
වාහන සම්බන්ධයෙන් තිබූ ගැටලුව තමයි සමාජ ආරක්ෂණ බද්ද. ආනයනය කරන අවස්ථාවේ දී එය අය කළේ නැහැ. අය කළේ භාණ්ඩය විකුණන අවස්ථාවේදී. අපි හිතමු උදාහරණයක් ලෙස රුපියල් මිලියන සියයක වාහනයක් ගෙන්වලා එය විකුණනවා රුපියල් මිලියන දෙසීයකට කියා.
අපි මෙහිදී සමාජ ආරක්ෂණ බද්ද අය කළේ විකුණන අවස්ථාවේදී. විකුණුම්කරු විසින් 2.5% බද්ද අය කරලා අප වෙත ගෙවිය යුතුයි. ඇතැම් දෙනා ඒ අවස්ථාවේදී බදු ගෙවන්නේ නැහැ. මේ නිසා එය අය කර ගැනීමට උපක්‍රමයක් ලෙස වාහනය ආනයනයේදීම රේගුවේ දී මේ බද්ද අය කිරීමට අපි තීන්දු කළා."
උපුටා ගැනීම - දිනමිණ