
ඊයේ (03) දින සවස 5ත් 6ත් අතර කාලයේ අඟුරුවාතොට, බටගොඩ ගල්පාත මවුපිය සෙවණ සෙනෙහසේ කැදැල්ල නිවාසයේ ඇති වූ හදිසි ගින්න හේතුවෙන් මේ වන විටත් විවිධ හද කම්පා කරන පුවත් වාර්තා වේ.
ඒ අතර එම නිවාසයේ මානසික ආබාධ සහිත විවිධ වයස්වල කාන්තා හා පිරිමි පුද්ගලයින් 72ක් පමණ සිට ඇති බවත් මෙම පිරිස රැකබලා ගැනීමට පලනාධිකාරිය පස් දෙනෙකු සිට ඇති බවත් මේ වන විට හෙළි වී ඇත.
එසේම ගින්නෙන් තුවාල ලැබූවන් යුහුසුළුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය විශේෂ කාර්ය බලකාය ඇතුළු සහන කණ්ඩායම් එක්ව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණේ 51 දෙනෙකු නිරුපද්‍රිතව බේරා එම නිවාසය ඉදිරිපිට ඇති බටගොඩ ප්‍රාථමික විද්‍යාලීය ගොඩනැගිල්ලට රැගෙන ගොස් ඇත්තේ යුද හමුදාවේ බස් රථවලිනි.
එමෙන්ම තවත් කොටසක් බටගොඩ දිවා සුරැකුම් මධ්‍යස්ථානයටත් රැගෙන ගොස් ඇත. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පිරිස් විවිධ කතා පවසයි.
ඒ අතර මෙම සිද්ධිය මුලින්ම දුටු ප්‍රදේශවාසියෙක් සඳහන් කළේ,
“අපි කළින් දවසේ මේ නිවාසෙට 72 දෙනෙක් සඳහා දානයක් ගෙනාවා. සිද්ධිය වෙද්දි මම මෙතනට එද්දිත් ගින්න පටන් අරන් විනාඩි 5ක් 10ක් විතර ගතවෙලා. ඉස්සරහ සේරම යතුරු දාලා දොර ජනෙල් වහලා තිබුණේ. ඉස්සරහම දඟල දගල එක්කෙනෙක් කෑගගහ හිටියා. මේ නිවාසයෙ බිමට මෙට්ට දාල තමයි මේ අය ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ මිනිස්සු මරලතෝනි තියන සද්දේ තාමත් කන්දෙකේ ඇහෙනවා වගේ. ඇවිදින්න බැරි තුන්දෙනෙකුත් හිටියා ඉස්සරහම. මගෙ කෑගැහිල්ලට අවට අයත් ආවා. අපි පිටිපස්ස පැත්තෙන් ගිහින් හරිම අමාරුවෙන් තමයි හත් අට දෙනෙක් බේරගත්තේ. ඒ වෙනකොටත් කිට්ටු වෙන්නත් බැරි තරම් ගින්දර ඇවිලෙනවා. අපි බේරගෙන මිදුලට ගෙනාව එක අම්මා කෙනෙක් අනේ මගේ මාලේ ගේ ඇතුලේ වැටිලා කියලා ආපහු ගේ ඇතුළට දුවලා ගියා. එයත් ඉතින් මාලේ හින්දා පිච්චිලා ගියා. ගෑස් එකත් පස්සේ පුපුරලා තිබුණා.”
එමෙන්ම මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ 25 හැවිරිදි තරුණියක් වන ධනුෂ්කි ශශී බබාගේ ඥාතියකු කියා සිටියේ,
“අපි අම්බලන්ගොඩ. ෆේස්බුක් එකේ තියෙනවා දැකලා තමයි අපේ අක්කගේ දුවව මෙහාට භාර දුන්නෙ. අක්කා රට ගිය හින්දා. මාසෙට තිස්පන්දාහක් අපි ගෙවනවා මෙහාට. අමතරව බෙහෙත් ගන්න කියලා කියන කියන වෙලාවට විසි තිස් දාහක් කියන කියන ගණන් දෙන්න ඕනෑ. අපි එයාව බලන්න එනවා නම් එයාලට කළින් දැනුම් දීලා අවසර අරන් එන්න ඕනෑ. එතකොට හොඳට සෝදලා පිරිසිදු කරලා තියෙනවා. නැත්නම් අනිත් දවසට කිසි පිරිසිදුකමක් නෑ. දංවැල් දාලා බැඳලා තියනවා. මේගොල්ලෝ කරන්නෙ බැරි අයව පැත්තකටම දාලා තියලා ටිකක් කතාබහ කරන්න ඇවිදින්න පුළුවන් අයව එළියට අරගෙන වීඩියෝ කර කර ෆේස්බුක් දාලා හම්බ කරන එකයි.”කෙසේ වෙතත් මෙම සිද්ධිය සිදු වන විට මෙම ආයතනයේ පාලකයන් නොසිටි අතර මෙම ස්ථානයට මීටර් 100ක් පමණ දුරින් ඇති දෙමහල් නිවෙසක ඔවුන් රැදී සිටින බව ප්‍රදේශවාසීන් පවසයි.
ඊට අමතරව වෛද්‍යවරයෙක්, හෙදියක්, ගිලන් රථයක් ඇතුළු මානසික රෝගීන්ට රැකවරණය ලබාදෙන මෙවැනි ආයතනයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කිසිදු පහසුකමක් මෙම ආයතනය තුළ නොමැති බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
තවද ගින්න පැවති අවස්ථාවේ හොරණ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙක පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ ද ජලය මදි වී යළි රැගෙන ඒමට යෑම හේතුවෙන් ප්‍රමාද වූ බවත් ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
එමෙන්ම තරුණ පිරිස් දුම් කවුළුව උඩට නැග මහත් පරිශ්‍රමයක් දරා ජල බටවලින් ගින්න නිවීමට උත්සහ කර තිබෙන අතර රාත්‍රී 10.00 පමණ වන තුරුම ගින්න මැඩ පැවැත්වීමට විශාල පරිශ්‍රමයක් දරා ඇති බව හෙළි විය.
එසේම හොරණ දිස්ත්‍රික් මහ රෝහලට තුවාලකරුවන් අට දෙනකු රැගෙන ගොස් තිබෙන අතර මේ වන විට ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
පොලීසිය සඳහන් කරන්නේ ගිනිගත් නිවෙසේ තිබී මළ සිරුරු දහයක් සොයාගෙන ඇති අතර ඉන් නවයක් කාන්තාවන් ද එක් අයෙකු පිරිමියෙකු ද බවයි. ආරක්ෂක අංශ ගිනිගැනීම පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බව ප්‍රකාශ කරන අතර මෙම නිවාසයේ සිටි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි එක් වැඩිහිටි කාන්තාවක් වෙනම කුටියක රඳවාගෙන මේ වන විට ඇඟෙන් සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තර ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව සඳහන් කර ඇත.
තවද එහි අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන්.
එමෙන්ම මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති ඥාතීන් අදාළ පාලනාධිකාරියේ නිලධාරීන් සමඟ තම ඥාතින් මිය ගියාද නැද්ද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීමට තර්ක කරමින් සිටින බව වාර්තා වේ.
හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර මළ සිරුරු හොරණ දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන යන මෙන් පොලිසියට නියෝග කර සිටියා.
එසේම හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ මහතා අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සිදු කළ අතර පානදුර කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන්, රස පරීක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරන බව සඳහන්.
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,
