සැමන් ගද්දි පරිස්සමින්


බලපත්‍ර හෝ කිසිදු නිත්‍යානුකූල රෙගුලාසියකට අනුකූල නොවී සඳලංකාව ඉරබඩගම ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ ටින් මාළු නිෂ්පාදනය හා ඇසුරුම් කිරීමේ කර්මාන්ත ශාලාවක් අද (26) දහවල් පාරිභෝගික සේවා අධිකාරිය විසින් වටලා තිබෙනවා.

මෙම වැටලීමේදී එහි තිබූ රුපියල් ලක්ෂ 18කට ආසන්න වටිනාකමකින් යුත් ටින් මාළු තොගයක් නිලධාරීන් භාරයට ගෙන තිබුණා.

වැටලීම සිදුකරන අවස්ථාවේදීත් වෙළඳපොළට නිකුත් කිරීම සඳහා සැමන් ටින් 3,500කට ආසන්න ප්‍රමාණයක් ඇසුරුම් කරමින් සිටි බවයි පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී. ඒ. සී. පී. පෙරේරා සඳහන් කළේ.

වැඩි ලාභ අපේක්ෂාවෙන් මහජන සෞඛ්‍යය අනතුරේ හෙළමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබෙනවා.

මෙහි ඇති බරපතලම කරුණ වන්නේ නිෂ්පාදිත දින සහ කල් ඉකුත් වීමේ දින වෙනුවට පාරිභෝගිකයන් මුලා කරමින් ව්‍යාජ දින මුද්‍රණය කර වෙළඳපොළට දැමීමට සූදානම් කර තිබීමයි.

වැටලීමේදී සැමන් තොගයට අමතරව ටින් මාළු ඇසිරීමට සූදානම් කර තිබූ ඇසුරුම් පෙට්ටි සහ දවටන, ව්‍යාජ දින මුද්‍රණය කිරීමට යොදාගත් විශේෂ යන්ත්‍රය හා නිෂ්පාදනයට සම්බන්ධ තවත් උපකරණ රැසක් භාරයට ගෙන තිබෙනවා.

මහජනතාවගෙන් සහ වෙළෙඳුන්ගෙන් ලද රහසිගත තොරතුරුවලට අනුව පාරිභෝගික සේවා අධිකාරිය මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන මුද්‍රා තබන ලද සියලුම ටින් මාළු තොග සහ උපකරණ ඉදිරි දිනකදී කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නීතිමය පියවර ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post