
රෝගය ගැන අනිසි බියක් ඇති කර ගත යුතු නෑ: ඒත් අවධානයෙන් ඉන්න – වැලිමඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි කසුන් බණ්ඩාර
මේ දිනවල ළමුන් අතර පැතිර යන මෙනින්ජයිටීස් රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගතයුතු නැති බවත් රෝග ලක්ෂණ දුටු වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගය සුව කර ගත හැකි බවත් වැලිමඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය කසුන් බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් පළ කළේ, මේ දිනවල පැතිර යන මෙනින්ජයිටීස් රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව අදහස් පළ කරමිනි.
වෛද්‍ය කසුන් බණ්ඩාර මහතා,
ඔබ දන්නවා මේ දිනවල වැලිමඩ හා ඌව පරණගම ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙනින්ජයිටීස් නම් රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව. මෙම රෝගය බහුලව පැතිරෙන්නේ පාසල් වයසේ පසුවන දරුවන්ට. වයස් කාණ්ඩය වශයෙන් කිව්වොත් වයස අවුරුදු 5 ත් 14 ත් අතර වයසේ පසුවන දරුවන්ට තමයි මේ වන විට මේ රෝගය වැළඳිලා තියෙන්නේ. මෙම රෝගය වැලඳුණු රෝගියකුගේ දකින්න ලැබෙන රෝග ලක්ෂණ තමයි තද උණ, තද හිසරදය, වමනය, බෙල්ල ප්‍රදේශයේ මාංසපේශිවල තද ගතියක් දැනීම ආදියයි.
තවද මෙම රෝගය වැළඳුණු රෝගියකුට ආලෝකය දෙස බැලීමේදී යම් අපහසුතාවයක් දැනෙනවා. මම ඔය කිව්ව රෝග ලක්ෂණ තමයි මේ දිනවල පැතිර යන මෙනින්ජයිටීස් රෝගීන්ගේ දැකිය හැකි රෝග ලක්ෂණ. ඉතිං මෙම රෝග ලක්ෂණ ඔබේ දරුවාටත් තියෙනවා නම් එහෙමත් නැත්නම් ගෙදර කාට හෝ තියෙනවානම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවෙලා අවශ්‍ය උපදෙස් හා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න එක ඉතා වැදගත්.
මෙම රෝගය ව්‍යාප්ත වීම ගැන කතා කළොත් රෝගියෙක්ගෙන් තවත් අයකුට බෝවන ප්‍රධාන ක්‍රම කිහිපයක් තියෙනවා. අපි ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී ප්‍රශ්වාස වාතයේ තියෙන ජල බිඳිතිවලින් හා ඒ ආශ්‍රිතව යම් ස්පර්ශයක් ඇති වුණොත් ඒ මගින් මේ රෝගය පැතිරෙන්න පුළුවන්. අපි පානය කරන ජලය මගිනුත් මේ රෝගය බෝවෙන්න පුළුවන්. ඒ නිසා මේ දිනවල පානය කරන ජලය උණු කර නිවා පානය කිරීමෙනුත් මෙම රෝගය බෝවීම පාලනය කරගන්න පුළුවන්. මේ අනුව මෙම රෝගය මේ දිනවල පැතිර යෑම පාලනය කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මුඛ ආවරණ පැළඳීම. ඒ මගින් මේ රෝගය බෝවීම බොහෝ සෙයින් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ළමයින්ට මේ දිනවල උණු කර නිවා ගත් ජලය පානය කරන්න දෙන්න. මේවා මගින් මෙම මෙනින්ජයිටීස් රෝගය ව්‍යාප්ත වීම පාලනය කර ගන්න පුළුවන්. වැලිමඩ මූලික රෝහලෙත් මේ රෝගය වැළඳුණු ළමයින් ප්‍රතිකාර ලබනවා. තවත් පිරිසක් ප්‍රතිකාර ලබා නිවෙස්වලට ගොස් තිබෙනවා. ඒ නිසා මෙම රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් සමාජයේ ඇති කරගන්න අවශ්‍ය නැහැ. කළ යුතු දේ තමයි රෝග ලක්ෂණ දුටු වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් මුණගැහිලා අවශ්‍ය උපදෙස් ලබා ගෙන ප්‍රතිකාරවලට යොමු වීම. විශේෂයෙන්ම කියන්න ඕනි මේ දිනවල නිවසේ පිළියෙල කරනු ලබන ආහාර පරිභෝජනයට ගන්නවානම් වඩාත් හොඳයි. ඒ වගේම අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා. මිථ්‍යා මතවලට යොමු වන්න එපා. දැන් ලෝකය ගොඩක් දියුණුයි. ඒ නිසා මෙම මෙනින්ජයිටීස් රෝග ලක්ෂණ දුටු වහාම ළඟම තිබෙන රෝහලට ගොස් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගෙන වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමෙන් අපට පුළුවන් මේ රෝග ව්‍යාප්තිය වළකා, මේ රෝගය පරාජය කර සමාජය ගොඩගන්න.
