
දිස්ත්‍රික්ක සහ පළාත් කිහිපයක් සඳහා ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව පවසමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (18) පස්වරුවේ නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල පස්වරු 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතී.
මෙම වායුගෝලීය නොසන්සුන් තත්ත්වය හේතුවෙන් ජනතාව දෛනික කටයුතුවලදී වඩාත් කල්පනාකාරී විය යුතුය. එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව පැතිර යන තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අකුණු සැර වැදීම් සහ තද සුළං මඟින් සිදුවන අනතුරු මෙන්ම දේපළ හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
විශේෂයෙන් විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටීම සහ විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.
