වැලගෙඩියක් හින්දා සිඟිත්තියක් මරු තුරුලට – දරාගත නොහැකි වූ පියා වස බොයි


මාර්ගයේ වැටී තිබූ වැල ගෙඩියක් මත යතුරුපැදියක් ලිස්සා යාමෙන් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබ සිටි වයස අවුරුදු දෙකයි මාස 11ක් වයසැති දැරියක් මහනුවර ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල පොලිසිය සඳහන් කර තිබෙනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ කෑගල්ල අත්තනගොඩ කරඩුපන වත්තේ පදිංචිව සිටි දැරියක්.

පියා සහ මව මෙම දැරිය සමඟින් කෑගල්ල මොළගොඩ හරහා අත්තනගොඩ මාර්ගයේ ගමන් කරමින් සිටියදී මොළගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී මෙම අනතුර සිදුව තිබුණා.

පියා කෑගල්ල ගලිගමුව කාර්මික විද්‍යාලයේ උපදේශකවරයකු ලෙස කලක සිට සේවය කරන බවත් ඉකුත් 02 වැනිදා පෙරවරුවේ උපදේශකවරයා ඉදිරි අසුනෙත් ඔහුගේ බිරිඳ යතුරුපැදියේ පිටුපස අසුනේත් වයස අවුරුදු දෙකයි මාස 11ක් වන දියණිය හිස් වැසුමක් නොමැතිව යතුරුපැදියේ ඉදිරිපසද තබාගෙන කරඩුපන වත්ත නිවසේ සිට කෑගල්ල බලා පිටත්ව ගොස් තිබෙනවා.

එහිදී යතුරු පැදිය ලිස්සා ගොස් පෙරළී දැරිය බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළ බව සඳහන්.

කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර සිටි දැරිය වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරුකර යවා මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය (09) අලුයම මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මිය ගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය (09) මහනුවර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සේනසිංහ විසින් සිදු කළා.

රිය අනතුරක් හේතුවෙන් හිසට සිදුව තිබුණු හානිය මරණයට හේතුව බවයි මහනුවර හදිසි මරණ පරීක්ෂක නෝමන් කොස්තා තීන්දු කර ඇත්තේ.

මිය ගිය දැරිය පවුලේ එකම දරුවා බවත් දැරියගේ හදිසි මරණය අසා පියා කම්පනයට පත් වී වස පානය කර කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර කෑගල්ල මහ රෝහලේ අංක 06 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිසිය පවසනවා.

ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් පොලිසිය සඳහන් කළේ.

35 හැවිරිදි බාල ක්‍රිෂ්ණන් දිනේෂ් කුමාර නමැති පියාගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

කෑගල්ල වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ඩී.කේ.කේ. සේනානායක රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් වැන්ඩර්ලන් පොලිස් සැරයන්වරුන් වන (75126) අබේකෝන් (66217) යන නිලධාරින් විමර්ශන කටයුතු සිදුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post