ඇස් පියවුණේ නළවන්නට නොව සදහටම සමුගන්නටයි! හඬා වැටුණු පුංචි රුසේලි දියණිය පියාගේ දෑතින්ම අවසන් හුස්ම හෙළයි..

ජීවිතය සමහර වෙලාවට හරිම අකාරුණිකයි. එක නිමේෂයකදී සිදුවන සුළු අතපසුවීමකින් මුළු ජීවිත කාලයක්ම පසුතැවෙන්නට සිදුවන ශෝකාන්තයන් අප අවට ඕනෑතරම් සිදු වෙනවා.

අළුබෝමුල්ල, බටදොබ තුඩුව ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වූයේ එවැනිම දෑසට කඳුළු උනන පුවතක්.

පසුගිය 6 වැනිදා උදෑසන, රාත්‍රී වැඩමුරය නිමවා විඩාබරව නිවසට පැමිණි පියෙකුට තම මාස දෙකහමාරක් වයසැති සිඟිති දියණිය වූ රුසේලි කෙයාශා හඬන හඬ ඇසෙනවා. පිය සෙනෙහසින් පිරුණු ඔහු, සිය විඩාව පසෙක ලා සිය සිඟිති දියණිය වඩාගෙන නළවන්නට පටන් ගන්නේ ඇයගේ හැඬුම නතර කරන්නටයි. පුටුවක වාඩි වී දියණිය නළවමින් සිටි ඔහුට, මඳ වේලාවකින් නැගී සිට එහා මෙහා ඇවිදිමින් දියණිය නළවන්නට සිත් දෙනවා.

නමුත් රුදුරු දෛවය ඔහු අසලම රැක සිටියා. රාත්‍රී වැඩමුරයේ තෙහෙට්ටුව නිසා ඔහුටත් නොදැනීම එකවරම නින්ද යනවා. ඒ මොහොතේ ඔහුගේ දෑතින් ලිස්සා යන පුංචි දියණිය, සිමෙන්ති පොළොව මත පතිත වන්නේ දරුණු ලෙස හිස වැදෙමිනුයි.

තිගැස්සී අවදි වූ පියා දුටුවේ සිය බිරිඳ දරුවාගේ ඇඳුම් මාරු කරන අතරතුර දරුවාගේ මුහුණ රතු වී, අතපය පණ නැති වී ඇස් පියවෙන අයුරුයි. කලබල වූ දෙමාපියන් දරුවා වහාම පානදුර රෝහලටත්, පසුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටත් රැගෙන ගියත්, දින තුනක සටනකින් පසු පුංචි රුසේලි මෙලොව හැර යන්නේ ඇයගේ මවට සහ පියාට කිසිදා නොමැකෙන වේදනාවක් ඉතිරි කරමිනුයි.

මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ හිසෙහි වැදීමක් නිසා මොළයට රුධිරය වහනය වී ලේ කැටියක් හිරවීමෙන් මරණය සිදු වූ බවයි. මුලදී බිය නිසා සත්‍යය වසන් කළත්, අවසානයේ පොලිස් පරීක්ෂණ හමුවේ පියා සියල්ල පාපොච්චාරණය කළා. දියණිය පණ මෙන් ආදරයෙන් නළවන්නට ගිය ඒ පියාට, අද තමන් කළ නොසැලකිලිමත් ක්‍රියාව වෙනුවෙන් නීතිය හමුවේ පෙනී සිටින්නට සිදු වී තිබෙනවා.

එකම එක මොහොතක නින්දක්, සදහටම නිදාගත් පුංචි දියණියකගේ සහ තමන් කළ වරදින් හඬා වැටෙන පියෙකුගේ ඉරණම මෙලෙස ලියා අවසන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post