වෛරසයෙන් ආරක්ෂා වෙන්න... කොවිඩ් ව්‍යාප්තිය යළි තීව්‍ර වෙයි...

ආසියානු කලාපයේ රටවල් රැසක කොවිඩ් ව්‍යාප්තිය යළි තීව්‍ර වී තිබෙනවා. 

ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ හොංකොං යන රටවල ආසාදිතයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 685 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පුද්ගල මරණ 4ක් ද වාර්තා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ.

නව රැල්ල ආරම්භයේ සිට අසල්වැසි ඉන්දියාවෙන් දින 10ක් තුළ කොවිඩ් ආසාදිතයින් 3758 දෙනෙකු වාර්තා වී තිබෙන අතර මේ වන විටත් සක්‍රීය කොවිඩ් ආසාදිතයින් 1, 336 දෙනෙකු සිටිනවා.

මේ අතර, ආසියාවේ පැතිර යන කොවිඩ් වෛරසයේ ප්‍රභේදයක් වන ඔමික්‍රොන් වෛරසයේ උප ප්‍රභේද දෙකක් මෙරටින් ද හඳුනාගෙන තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සදහන් කළේ, දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය කළ පර්යේෂණවලින් මේ බව තහවුරු වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම කොවිඩ් උප ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි ද ඔහු සඳහන් කළා.

අවදානමට ලක් විය හැකි කාණ්ඩ ලෙස හඳුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිධන්ගත රෝගීන් මුඛ ආවරණ පැළඳීමත් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම හා දෑත් සේදීම යන සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කිරීම තුළින් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවත් සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැතිර යන විවිධාකාරයේ තොරතුරු මත පදනම්ව ඉදිරි දින කිහිපය තුළදී සියළු කරුණු අඩංගු චක්‍රලේඛ දෙකක් කඩිනමින් නිකුත් කිරීමට අදාල අංශ වලට උපදෙස් දී ඇතැයි සෞඛ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

ඉන් එක් චක්‍රෙල්ඛයක් මහජනතාව ඉලක්ක කරගනිමින් සහ අනෙක් චක්‍රලේඛය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉලක්ක කර ගනිමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම, ඩෙංගු සහ චිකුන්ගුන්‍යා රෝගීන් වාර්තා වීම මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද සෞඛ්‍ය අංශ සදහන් කළා.

වසරේ මේ දක්වා කාලය තුළ 23,300කට වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 2009 වසරින් පසු චිකුන්ගුන්යා රෝගීන් ද වාර්තා වීම සැළකිය යුතු මට්ටමකින් ඉහළ අගයක් ගෙන ඇත්තේ පළමු වතාවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post