මේ අයට වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වෙන්නැයි උපදෙස්


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් පවතින අධික වර්ෂාපතනයත් සමඟ මේ වනවිට සුළු භූමි අස්ථාවරතා සිදුවීම් 35ක් පමණ වාර්තා වී ඇති බව සඳහන් කරයි.

ඒ අනුව අද (21) දින පැවැති රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ඉමායා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ, එම සිදුවීම් සුළු මට්ටමේ ඒවා වුවද, පවතින වර්ෂාපතනය හමුවේ ඒවා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි.

ඉකුත් දින තුන තුළ වර්ෂාපතනය මිලිමීටර් 300 ඉක්මවා ඇති බවත්, මෙම වර්ෂාපතන තීව්‍රතාව තවදුරටත් පැවතියහොත් නායයෑම්, ගල් පෙරළීම්, ගිලා බැසීම් සහ කණ්ඩි කඩා වැටීම් වැනි භූමි අස්ථාවරතා ඇතිවීමේ අවදානමක් පවතින බවත් ඇය එහිදී පෙන්වා දී ඇත.

එසේම මේ වනවිට බරපතළ භූමි අස්ථාවරතා සිදුවීම් වාර්තා වී නොමැති අතර, සුළු සිදුවීම් පමණක් වාර්තා වී ඇති බවද ඇය පැවසූ බව සඳහන්.

කෙසේ වෙතත් මේ වනවිට නායයෑම් අවදානම් සහිත දිස්ත්‍රික්ක 14ක් පවතින අතර, ඉන් දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත.

එමෙන්ම වර්ෂාපතනයේ තීව්‍රතාව තවදුරටත් ඉහළ ගියහොත් නායයෑම් රතු නිවේදන නිකුත් කිරීමේ ප්‍රදේශ සංඛ්‍යාවද ඉහළ යා හැකි බව ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥවරිය පෙන්වා දී තිබෙනවා.

එසේම නායයෑම් අනතුරු ඇඟවීම් කලාපීය වශයෙන් නිකුත් කරන බැවින්, තම ප්‍රදේශයට අදාළ අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී ඇත.

විශේෂයෙන්ම මීට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන, ඉවත් වන ලෙස උපදෙස් ලබාදී ඇති පුද්ගලයින් එම උපදෙස් අනුව වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post