ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා - අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙන්න


ශ්‍රී ලංකාව සහ ජපානය අතර කුසලතා සංවර්ධනය සඳහා වන රැකියා වැඩසටහන සම්බන්ධයෙන් වන සහයෝගිතා ගිවිසුමට අද (9) දින කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ජනගහනය අඩු වීම, වයස්ගත ජනගහනය ඉහළ යාම සහ දේශීය ශ්‍රම බලකාය අඩු වීම් හේතුවෙන් ජපාන ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය නිපුණතා සහ අර්ධ නිපුණතා සහිත මානව සම්පත් සපයා ගැනීම පිණිස ජපාන රජය විසින් විදේශීය ශ්‍රමය සපයා ගැනීම පිණිස ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, 2017 වසරේදී සහ 2019 වසරේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකාව සහ ජපානය අතර අත්සන් කරනු ලැබූ සහයෝගිතා ගිවිසුම් යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු වැඩසටහන සහ නිශ්චිත පුහුණු සේවකයන් පිළිබඳ වැඩ සටහන යටතේ සේවයේ නියුක්තව සිටී.

වඩාත් විනිවිදභාවයෙන් යුත් ශ්‍රමික කේන්ද්‍රීය සහ තිරසර ශ්‍රමික සංචලන රාමුවක් සහිතව 'කුසලතා සංවර්ධනය සඳහා වන රැකියා වැඩ සටහන' නමින් නව වැඩසටහනක් 2027-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දීමට ජපාන රජය තීරණය කරනු ලැබ ඇත.

ඒ යටතේ ශ්‍රමිකයන්ට ඉහළ ආරක්ෂාවක් සැපයීම, වඩාත් පැහැදිලි වෘත්තීය මාවතක් නිර්මාණය කිරීම සහ නිශ්චිත පුහුණු සේවකයින් පිළිබඳ වැඩ සටහන වෙත මාරු වීමට අවස්ථාව ලබා දීමට අදාළ විධිවිධාන සලසා තිබේ.

එකී වැඩසටහන යටතේ ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ට ද අවස්ථාව සලසා ගැනීමට හැකි වන පරිදි දෙරට අතර සහයෝගිතා ගිවිසුමකට එළඹීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post