ඉදිරි මාස කීපය අවදානම් - එල්නිනෝ තත්ත්වය ලංකාවටත් ආහාර,ජලය රැස් කිරීමට රජයේ සැලසුමක්


ඉදිරියේදී ගෝලීය වශයෙන් ඇති විය හැකි එල් නිනෝ දේශගුණික විපර්යාස තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බරපතළ අහිතකර බලපෑම් කල්තියා කළමනාකරණය කර ගැනීම සහ ඒ සඳහා වන ජාතික පූර්ව සූදානම වඩාත් විධිමත් කිරීම වෙනුවෙන් ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ හදිසි රැස්වීමක් ඊයේ (08) වැනිදා පස්වරුවේ කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලයේදී උසස් මට්ටමින් පවත්වා තිබේ.

මෙම විශේෂ සාකච්ඡාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන ඇමතිවරුන්ගේ සම ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා විෂයට අදාළ සියලුම රේඛීය අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.

මෙහිදී ඉදිරියේදී මතුවන එල් නිනෝ වියළි දේශගුණික තත්ත්වය හේතුවෙන් මෙරට සමස්ත කෘෂිකර්ම ක්ෂේත්‍රයට, වගාවන්ට සහ දේශීය ආහාර නිෂ්පාදනයට ඇති විය හැකි දැඩි බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බලමින් අවධානය යොමු කළ බව සඳහන් වේ.

විශේෂයෙන්ම ඉදිරියේදී එළඹෙන ප්‍රධාන යල කන්නයේ වගා කටයුතුවලට අවශ්‍ය කරන ජල ධාරිතාව මෙරට ප්‍රධාන ජලාශවල කල්තියා උපරිම ලෙස ගබඩා කර ගැනීම සහ සමස්ත මහජනතාවගේ දෛනික පානීය ජල අවශ්‍යතාව කිසිදු බාධාවකින් තොරව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් වහාම ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

ඒ පිළිබඳව අදාළ සියලුම රාජ්‍ය ආයතනවල විශේෂඥ නිලධාරීන්ගේ තාක්ෂණික අදහස් සහ ප්‍රායෝගික යෝජනා කඩිනමින් තමන් වෙත ලබා දෙන ලෙස වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී නිලධාරීන්ට සෘජුවම උපදෙස් ලබා දී ඇත.

පවතින එල් නිනෝ අවදානමට සාර්ථකව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව විද්‍යාත්මක සහ නිශ්චිත ජාතික සැලසුම් සකස් කර රජයට ඉදිරිපත් කිරීම සඳහා ඉදිරි දින කිහිපය ඇතුළත ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ තවත් විශේෂ රැස්වීමක් නැවත වරක් කැඳවීමට ද මෙහිදී තීරණය කර තිබේ.

එදිනට තමන් සතු ආයතනික ක්‍රියාකාරී සැලසුම් සහ වාර්තා අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම රේඛීය රාජ්‍ය ආයතන වෙත අමාත්‍යවරුන් විසින් මෙහිදී අවධාරණය කරමින් පවසා සිටින ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post