
2026 වර්ෂය තුළදී ශ්‍රී ලාංකිකයින් 250,000කට විදේශ රැකියා අවස්ථා ලබාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා රජය මඟින් සහ කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන හරහා මෙම රැකියා අවස්ථා ලබාදීමට කටයුතු යොදා ඇත.
මැදපෙරදිග පවතින යුධමය තත්ත්වය හමුවේ ලාංකිකයින් රැකියා සඳහා විදේශගතවීමේ යම් අඩුවක් පෙන්නුම් කළද, ආරක්ෂාකාරී ගමනාන්ත වෙත ඉහළ වැටුප් සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීමට කාර්යාංශය පියවර ගනිමින් සිටියි.
ඒ අනුව වසරේ ගතවූ කාලය තුළ ලාංකිකයින් 143,087 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති අතර, ඉන් පිරිමි ශ්‍රමිකයින් 92,590ක් සහ කාන්තා ශ්‍රමිකයින් 50,497ක් ඇතුළත් වේ.
මේ දිනවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අතර වඩාත් ප්‍රචලිත ගමනාන්තයක් වන ඊශ්‍රායල රාජ්‍යය සඳහා ශ්‍රමිකයින් 14,000 දෙනෙකු යොමුකිරීමට කාර්යාංශය සැලසුම් කර ඇති අතර, මේ වන විට ඉන් ශ්‍රමිකයින් 7,873 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
එසේම දකුණු කොරියාව සඳහා ශ්‍රමිකයින් 8,000 දෙනෙකු යොමුකිරීමට අපේක්ෂා කරන අතර, ඉන් 4,794 දෙනෙකු මේ වන විටත් විදේශගත වී අවසන්ය.
මීට අමතරව නිපුණතා සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් 73,623 දෙනෙකු 2026 වසරේ ගතවූ කාලය තුළදී විදේශගත වී ඇති අතර, නුපුහුණු කාණ්ඩයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 69,494 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව කාර්යාංශ දත්ත පෙන්වා දෙයි.
මේ අතර, මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස 6ක කාලය තුළදී විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 4.6ක මුදලක් මෙරටට ප්‍රේෂණය කර ඇත.
