
පසුගිය දිනවල ඉහළ ගිය ඉන්ධන මිල, රටේ බොහෝ දෙනාගේ අවදානය දිනාගත්තේ එය මහජනතාවට දැරිය නොහැකි ලෙස ඉහළ යාමත් සමඟයි.
කෙසේ වෙතත් ඒ ගැන මෙන්න මේ වගේ විශේෂ කතාවක් ඊයේ දවසේ අහන්නට ලැබුණා.
ඩොලරය ඉහළ යාම හා මැදපෙරදිග යුද තත්ත්වය සමනය නොවීම හේතුවෙන් ඉන්ධන පරිභෝජනය ප්‍රවේසමෙන් සිදු නොකළහොත් ඉදිරියේදී දරුණු ප්‍රතිවිපාකවලට මෙරට ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (3 වැනිදා) වැනිදා අනතුරු ඇඟවීමක් කර තිබුණා.
ජනතාව මෙය කළ යුත්තේ ආණ්ඩුව කෙරෙහි ඇති ආදරයට හෝ ඛනිජ තෙල් සංස්ථාව කියන නිසා හෝ නොව තමන්ටම සිදුවන පාඩුව ගැන සිතාබලා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පැවැසුවා. හෙතෙම මේ බව පැවසූවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදීය.
හැකි තරම් ප්‍රවේසමෙන් ඉන්ධන පරිහරණය කරන ලෙස රජය ජනතාවට දැනුම් දෙන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලු සහගත තත්ත්වය පාලනය කිරීමට බවත් ඉන්ධන සම්බන්ධයෙන් මීට වඩා අවධානයෙන් ජනතාව කටයුතු කළ යුතු බවත් ඔහු කීවා.
මෙහිදී හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ තෙල් සංස්ථාව ආණ්ඩුව සතුව නොතිබුණා නම් ජනතාවට ඩීසල් ලීටරයක් මිලදී ගැනීමට සිදුවන්නේ රුපියල් හත්සිය පනහකට බවයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා එහිදී මෙසේ ද ප්‍රකාශ කළා.
''තෙල් සංස්ථාවේ කලින් තිබුණේ සියයට පනස් තුනක පනස් හතරක වගේ වෙළෙඳපොළක්. නමුත් මේ වෙද්දී සියයට හැත්තෑ හය අසූව දක්වා ඒක වැඩිවෙලා තියෙනවා. එකෙන් කියන්නේ මේ පසුගිය කාලේ ආණ්ඩු මෙරටට ගෙන්වපු සමාගම්වල ක්‍රියාකලාපය. ඒ සමාගම් අපිට අමාරු අවස්ථාවල පාඩු ලබන්නේ නැහැ. ඒ පාඩු දැම්මේ රජය පිටින්. ඔවුන් කළේ ලාභ ගත්ත එක විතරයි. අඩුවට දෙනවා තරගයක් තියෙයි කියල ආවට ඒ කිසිම දෙයක් වුණේ නැහැ. අවසානයේදී ඔක්කොටම වඩා වැඩියෙන් දෙනවා. නමුත් සංස්ථාව එහෙම කරන්නේ නැහැ. උපරිම අපි දරාගන්නවා. අපිත් දරාගෙන තමයි ජනතාවට යම් බරක් දෙන්නේ. ඒ නිසයි අපි කියන්නේ තෙල් සංස්ථාවක් ආණ්ඩුවේ තිබ්බේ නැත්නම් ඩීසල් ලීටරේ ගන්න වෙන්නේ රුපියල් හත්සිය පනහට. සියයට එකසිය පහළොවකින් වැඩි කරා නම් හත්සිය පනහට යන්න වෙනවා. නමුත් අපි මෙතෙක් ඉන්ධන වැඩි කළේ සියයට හතළිස් අටකට පමණයි. වෙනත් රටවල් එක්ක සාපේක්ෂව එය අඩු ගණනක්. පුළුවන් තරම් ජනතාවට අපි ඉන්ධන පරිස්සමෙන් භාවිතා කරන්න කියන්නේ මේ නිසයි.''
අරුණ පුවත්පත ඇසුරෙන්..
