
හබරාදුව, කොක්වත්ත ප්‍රදේශයේදී පසුගිය 03 වනදා අලුයම නිවසකට අකුණු සැර වැදීමෙන් මියගිය තරුණියගේ මරණයට සෘජුවම අකුණු සැර වැදීම හේතු වී නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
කරාපිටිය ජාතික රෝහලේදී ඊයේ පවත්වන ලද මරණ පරීක්ෂණයේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී චිත්‍රානී වීරසිංහ මහත්මිය වාර්තා කර සිටියේ අකුණු වැදීමත් සමඟ නිවසේ බිත්ති සහ වහලයේ කොටස් කඩා වැටී මොට යමක් හිසේ වැදීමෙන් සිදු වූ බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
හබරාදුව හදිසි මරණ පරීක්ෂක කමල් ගාමිණීතිලක මහතා ඉදිරියේ පැවැති මෙම පරීක්ෂණයේදී අකුණු වැදීමෙන් නිවසේ ව්‍යුහයට සිදු වූ හානිය මරණයට මූලික හේතුව ලෙස තීරණය කෙරුණි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කොග්ගල ආයෝජන කලාපයේ ඇඟලුම් කම්හලක සේවය කළ පස්ගොඩ, රොටුඹ පාර පදිංචිව සිටි 25 හැවිරිදි ඉමාෂා මධුභාෂිණි හිතවංස නමැති තරුණියකි.
වසර එකහමාරක පමණ කාලයක සිට රැකියාව සඳහා හබරාදුවේ කාමරයක් කුලියට ගෙන නතර වී සිටි ඇය, සිද්ධිය වූ දින අලුයම 2:30 ට පමණ සිය කාමරය තුළ නිදා සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.
ඇය සමඟ එම නිවසේ නවාතැන් ගෙන සිටි තවත් තරුණියක් බරපතළ තුවාල ලබා දැනටත් කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඇය සුවය ලැබූ පසු ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස මරණ පරීක්ෂකවරයා පොලිසියට උපදෙස් දී තිබේ.
මියගිය තරුණියගේ පියා වන 56 හැවිරිදි උපුල් හිතවංස මහතා සාක්ෂි දෙමින් පවසා සිටියේ සිය දියණිය සිද්ධියට පෙර දින නිවසට පැමිණීමට ඇසුවද රාත්‍රී කාලයේ ගමන් බිමන් අවදානම් සහගත බැවින් තමා එදින නොපැමිණෙන ලෙස දැනුම් දුන් බවයි. හබරාදුව පොලිසියේ සැරයන් සත්සර ගුණසේකර මහතා විසින් මෙහි සාක්ෂි මෙහෙයවීම සිදු කරන ලදී.
