
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසන්නේ දිවයින පුරාම ක්‍රියාත්මක වන පරිදි ‘GovPAY’ ඩිජිටල් රථ වාහන දඩ ගෙවිමේ පද්ධතිය සාර්ථකව නිම කර ඇති බවත් මේ දක්වා රුපියල් මිලියන 115කට අධික දඩමුදල් ප්‍රමාණයක් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ රජයට එකතු කර ගැනීමට හැකිවු බවත්ය.
ඩිජිටල් රාජ්‍ය පාලන ක්‍රියාවලිය නව මානයකට ඔසවා තබමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ‘GovPAY’ රථ වාහන දඩමුදල් ගෙවිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර පසුගිය අප්‍රේල් මාසයේ දී පොලිස් ස්ථාන 11ක් කේන්ද්‍ර කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ විය.
අද වන විට පළාත් 9ම ආවරණය වන පරිදි විධිමත් ලෙස එය ව්‍යාප්ත කිරීමට හැකිව ඇති අතර මේ වන විට සිදුකර ඇති ඩිජිටල් ගණුදෙනු සංඛ්‍යාව 86,000 ඉක්මවා ඇත.
දිවයිනේ ප්‍රමුඛ පෙලේ සියලු බැංකු සහ ෆින්ටෙක් යෙදවුම් හරහා මෙම ගෙවීම් කිරිමේ හැකියාව පවතින අතර මේ සතියේ සිට දිවයින පුරා විසිරී ඇති 55,000කට අධික ඩයලොග් ඊ සී කෑෂ් නියෝජිතයන් හරහා දඩමුදල් ගෙවිමේ පහසුකම ද මහජනතාව වෙත විවෘත වේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසන්නේ මෙය ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුත් රාජ්‍ය සේවයක් ලබාදීම වෙනුවෙන් තැබු දැවැන්ත පියවරක් බවයි.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පවසන්නේ GovPay යෙදවුම මගින් රථ වාහන වැරදි සම්බන්ධ දඩමුදල් ගෙවිම රජයේ ආදායම වැඩිකර ගැනීමේ ක්‍රමවේදයක් නොව ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්විමේ හා විනයගරුක රියදුරන් බිහිකිරිමේ අරමුණෙන් ක්‍රියාත්මක වන්නක් බවයි. මහනුවර පොලිස් නිලධාරීන් දැනුවත් කිරිමේ හා අදාළ විද්‍යුත් උපකරණ ලබාදිමේ වැඩසටහනකදීයි ඒ මහතා මේ බව පැවසුවේය.