
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
පසුගිය ජනවාරි 30 වැනිදා රාත්‍රියේ ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මුලින්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත ඇතුළත් කර තිබුණි. එහිදී ඔහුගේ තත්ත්වය පරීක්ෂා කළ විශේෂ වෛද්‍ය කණ්ඩායමක නිර්දේශ මත, පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.
මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ සුවය ලබමින් පසුවන බව පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා මාධ්‍ය විමසීමකදී තහවුරු කර ඇත. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවත්, අවශ්‍ය සියලුම ප්‍රතිකාර ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා මෑතකදී වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබූ අතර, සංවිධානාත්මක අපරාධ මර්දනය සම්බන්ධයෙන් දක්ෂතා දැක්වූ නිලධාරියෙකු ලෙස හඳුනාගෙන තිබේ.