
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට වැඩි විය හැකි බවයි.
ඒ අනුව, එම ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55ත් 60ත් අතර දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද සඳහන් කර තිබේ. මේ හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල යෙදෙන්නන් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
එමෙන්ම, හෙට (15) දිනයේ සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, මොණරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
