
රුසියානු සමූහාණ්ඩුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට විවෘත කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රුසියාවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමය (NOSTROY) අතර සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තබා තිබේ.
ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත සමාගමේ සභාපති ආනන්ද ලාල් හෙට්ටිආරච්චි මහතා සහ NOSTROY සංවිධානයේ සභාපති ඇන්ටන් නිකොලයෙවිච් ග්ලූෂ්කොව් මහතා අතර මෙම ගිවිසුමට අත්සන් තැබුණු අතර, එමඟින් දෙරට අතර ශක්තිමත් සහයෝගීතා රාමුවක් ස්ථාපිත වේ.
මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර රුසියානු විශේෂ දූත පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී රුසියාවේ ඉදිකිරීම් කර්මාන්තය සඳහා ශ්‍රී ලංකාව මූලාශ්‍ර රටක් ලෙස තෝරා ගැනීම පිළිබඳව කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පළ කළේය. මෙරට තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන (TVET) ආයතන හරහා පුහුණුව ලබන නිපුණ සහ අර්ධ නිපුණ ශ්‍රමිකයන්ගේ උසස් ප්‍රමිතියත්, ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකික ඉදිකිරීම් ශ්‍රමිකයන් ලබා ඇති සාර්ථක අත්දැකීම් පිළිබඳවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා මෙහිදී රුසියානු නියෝජිත පිරිස වෙත පැහැදිලි කළේය.
නිවාස, සිවිල් සහ කාර්මික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත සමාගම් 105කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන NOSTROY සංවිධානය, රුසියාවේ විශාලතම ඉදිකිරීම් සංගම්වලින් එකකි.
මීට පෙර ඉන්දියාව සමඟ ද මෙවැනි ගිවිසුමකට එළඹී ඇති බවත්, ඉදිරියේදී රුසියාවේ පවතින විශාල ශ්‍රම අවශ්‍යතාවය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට කටයුතු කරන බවත් එම සංවිධානයේ සභාපති ඇන්ටන් ග්ලූෂ්කොව් මහතා සඳහන් කළේය.
