
මේ වන විට ඇති නවතම දත්ත වාර්තා වන 2022 දත්ත වාර්තාවලට අනුව මෙරට මුඛ පිළිකා රෝගීන් 3800 ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, ඒ අයගෙන් 3000 ක්ම පිරිමි අයවලුන් බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා දත්ත විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ "පිළිකාවෙන් තොර හෙටක් සඳහා පෙළ ගැසෙමු’’ මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මෙම මාධ්‍ය හමුව ජූලි 27 වැනිදාට යෙදී ඇති ලෝක පිළිකා දිනයට සමගාමීව පවත්වා තිබුණා.
එසේම විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර තිබුණේ මේ වන විට මුඛ පිළිකා රෝගීන් මීට වඩා වැඩි බවයි.
එමෙන්ම මින් පෙර මුඛ පිළිකාවලට ගොදුරු වූයේ මෙරට වැඩිහිටි අය වුවත් මේ වන විට තත්ත්වය වෙනස් වී වයස අවුරුදු 20ත් - 30 ත් අතර තරුණ පිරිස් මුඛ පිළිකා රෝගයට ගොදුරු වීමේ නරක ප්‍රවණතාවක් මතුව ඇති බව ද ඔහු පැවසුවා.
එහිදී විශේෂයෙන්ම පාසල් දරුවන් අතර බාවා, තූල් සහ පැකට් කළ පුවක් ඉතා ජනප්‍රියව පැතිර යමින් ඇති බව මේ දිනවල කරන මුඛ සෞඛ්‍ය සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙන බවත්, මෙයාකාරයට පාසල් දරුවන් පිළිකා කාරක පුවක් කෑමට යොමුවීම හේතුවෙන් අනාගත දරු පරපුරට වන දේ පිළිබඳ සිතාගත නොහැකි බවත් ප්‍රසන්න ජයසේකර මහතා කියා සිටියා.
තවද මුඛ පිළිකාවට ප්‍රධාන හේතුව වන්නේ බුලත් විට, මත්පැන්, සිගරැට් ආදිය බව තහවුරු වී ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා දුම්කොළවල පිළිකා කාරක 28 ක් අඩංගු බවට පර්යේෂණ මඟින් හෙළිකරගෙන ඇති බවත් පුවක්වල පිළිකා කාරක 4 ක් අඩංගු බවත් සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ විශේෂයෙන්ම කම්කරුවන්, වතු කම්කරුවන්, ධීවරයන්, පෙදරේරු සහ මේසන් බාස්වරු යන අය වැඩි වශයෙන් මුඛ පිළිකාවලට ගොදුරුවන බවයි.
මෙම මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා ජාතික දන්ත රෝහලේ මුඛ හා හනුක විශේෂඥ ශල්‍ය වෛද්‍ය තනූජා පතිරාජ කියා සිටියේ මුඛ පිළිකා කල් තියා හඳුනාගත හැකි දෙයක් බවත්, මුඛයේ රතු ලප, සුදු ලප මතු වී ඇත්නම් වහාම වෛද්‍ය සාහනවලට යාමෙන් පිළිකාව පැතිර යෑමට පෙර සුවපත් කරගත හැකි බවත්ය.
එසේ වුවත් මුඛ පිළිකා වැළඳුණ අය සායනවලට එන්නේ බොහෝ ප්‍රමාද වී බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.
