
රජය මඟින් පනවා ඇති අතිරේක බදු ප්‍රතිශතය එළඹෙන අගෝස්තු 15 වැනි දින ඉවත් කිරීමට තීරණය කළහොත්, ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ වාහන මිල ගණන් පහළ යා හැකි බව ලංකා මෝටර් රථ අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා කියා ඇත්තේ, රජය අගෝස්තු 15 වැනිදායින් පසු එම බදු ප්‍රතිශතය එලෙසම පවත්වාගෙන ගියහොත් වාහන මිලෙහි වෙනසක් සිදු නොවන බවයි.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ වසර පහකට පසු පසුගිය පෙබරවාරි මාසයේදී වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ විශාල ඉල්ලුමක් නිර්මාණය වුවත් මේ වන විට එම ඉල්ලුම සාමාන්‍ය මට්ටමකට පත්ව ඇති බවයි.
එසේම වර්තමාන වාහන ආනයන දත්ත පසුගිය වසරේ දත්ත සමඟ සැසඳීම සාධාරණ නොවන බවත්, නිවැරදි සැසඳීමක් වෙනුවෙන් වාහන ආනයනය සාමාන්‍ය පරිදි සිදු වූ 2019 වසරේ දත්ත උපයෝගී කරගත යුතු බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.
මේ අතර රේගු වාර්තාවලට අනුව, මීට පෙර දිනකට වාහන නිදහස් කර ගැනීම සඳහා ඉදිරිපත් වූ රේගු ප්‍රකාශන සංඛ්‍යාව 800-850ත් අතර පැවති අතර, මේ වන විට එය 300-350 දක්වා කැපී පෙනෙන ආකාරයට පහළ ගොස් තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව, මෙම වසරේ මුල් මාස පහ තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1070ක වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර ඇත.
තවද ඉකුත් අප්‍රේල් සහ මැයි මාසවලදී පැනවූ බදු සංශෝධන හේතුවෙන් වාහන ආනයන පිරිවැය 20%කින් පමණ ඉහළ ගොස් ඇති බව ද සඳහන්.
කෙසේ වෙතත් රජය අපේක්ෂා කරන්නේ මෙම මාසය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 180ක පමණ වාහන ප්‍රමාණයක් මෙරටට ආනයනය කරනු ඇති බවයි.
එසේම 2019 වසරේදී මෙරටට ආනයනය කරන ලද මුළු වාහනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1400ක් බව වාර්තා වේ.
