සියලුම පාසල්වලට රජයෙන් මාර්ගෝපදේශයක් - පාසල් දරුවන් උදෙසා දැඩිව ක්‍රියාත්මක කිරීමට උපදෙස්



පාසල් දරුවන් උදෙසා දැඩිව ක්‍රියාත්මක කිරීමට උපදෙස්

අද (22) දින 2026 ජාතික පෝෂණ මාසය ට සමගාමීව “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය” එළිදක්වා ඇත.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය මඟින් සකස් කළ මෙම මාර්ගෝපදේශය කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීය.

මෙම මාර්ගෝපදේශයේ ප්‍රධාන අරමුණු ලෙස පාසල් දරුවන් අතර නිවැරදි ආහාර පුරුදු වර්ධනය කිරීම, අහිතකර ආහාර පරිභෝජනය අවම කිරීම සහ පාසල් ආපනශාලා සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම දක්වා ඇත.

එමෙන්ම ප්‍රධාන අරමුණු 5කට අදාළව ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මෙම මාර්ගෝපදේශය එළිදක්වා ඇති අතර එම කරුණු අතර,

1.නිසි පෝෂණයෙන් යුතු, බෝ නොවන රෝග අවදානමින් මිදුණු නිරෝගී පාසල් දරු පරපුරක් රටට දායාද කිරීම.

2.පාසල් සිසුන්ට රසවත්, පෝෂ්‍යදායී සහ සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීම.

3.පාසල් ළමුන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳ නිවැරදි ආකල්ප ඇති කිරීමට දායක වීම තුළින් නිවැරදි ආහාර පුරුදු හා හැසිරීම් ඇති කිරීම.

4.සෞඛ්‍ය සම්පන්න / නිවැරදි ආහාර පුරුදු පාසල් දරුවා මඟින් සමාජගත කිරීම.

5.ආපනශාලා නිසි පරිදි පවත්වාගෙන යාම සහ සනීපාරක්ෂාව සහතික කිරීම. ඇතුළත්.

එසේම එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා ඇත්තේ සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය පිළිබඳ පණිවුඩය වේගයෙන් ජනතාව අතරට ව්‍යාප්ත කළ යුතු බවයි.

එමෙන්ම මෙරට උද්ගතව පවතින සහ වේගයෙන් වර්ධනය වෙමින් පවතින පෝෂණය පිළිබඳ ගැටළුවට සාර්ථක විසඳුම්ක් සෙවීමට නම් දැඩි තීරණ ගනිමින් දැඩි පියවරයන්ට එළඹිය යුතු බවත් ඔහු සඳහන් කර ඇත.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ගැටලුව පිළිබඳ සමාජයේ බොහෝ පාර්ශවයන් කරුණු තේරුම් ගෙන ඇතත් නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට මැලිකමක් දක්වන බවයි.

ඉකුත් කාලයේ ආහාර සම්බන්ධව විවිධ රෙගුලාසි නිකුත් කළ විට පාසල්වල විවිධ ව්‍යාපෘති සඳහා අනුග්‍රහකත්වය දක්වමින් සිටි සමාගම් එම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් වැළකී සිටින බවට පාසල් ගණනාවකින් පැමිණිලි ලැබුණ බව කියා සිටි අමාත්‍යවරයා එවන් තත්වයක් තුළ පාසල්වල විවිධ ව්‍යාපෘතිවල වියදම් පියවා ගැනීමට එම හානිකර ආහාර දිගටම දරුවන්ට ලබා දෙනවා ද, නොඑසේ නම් දශක කිහිපයකින් සංවර්ධනයට දායකවීමට නියමිත දරුවන්ගේ පෝෂණය පිළිබඳ ඊට වඩා අවධානය යොමු කරනවා ද යන්න තීරණය කළ යුතු බව අවධාරණය කළා.

එමෙන්ම මෙම වැඩසටහන සැලසුම් කරනුයේ 2070, 2080 වැනි ඉදිරි ආනාගතයේ ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය බවට පත්වීමට නියමිත දරුවන් ඉලක්ක කර ගෙන බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා මෙරට බෝනොවන රෝග පිළිබඳ ගැටළුවට මුහුණදීම සම්බන්ධයෙන් කාර්යසාධන බළකායක් ගොඩනගමින් පවතින බව ද සඳහන් කළා.

ඒ අනුව රෝග නිවාරණයේ දී සම්බන්ධවන ප්‍රධානතම අංශය පෝෂණය බව පෙන්වා දුන් ඔහු පෝෂණය සම්බන්ධ පවතින ගැටළුවලට කෙටිකාලීන විසදුම් ලබාදිය නොහැකි බවත් ජනතා ආකල්පයන් වෙනස් කරමින් කාලයක් තිස්සේ පවතින අඛණ්ඩ මැදිහත්වීමක් අවශ්‍ය බවත් සඳහන් කළා.

එබැවින් කෙටි ආහාර සම්බන්ධ එළිදැක්වු මෙම යෝජනාවලිය පාසලට පමණක් සීමා නොකර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු එවැනි ආයතනයවල ඉහළ සිට පහළට පළමුවෙන්ම භාවිතා කළ යුතු බවත්, එහි දී ඉහළ මට්ටමේ රැස්වීම්, සාකච්ඡා, උත්සව වෙනුවෙන් මෙම මාර්ගෝපදේශය අනුව කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් සඳහන් වූයේ අධික ලෙස මේදය, සීනි, ලුණු සහ කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර ගැනීම තුළින් දරුවන්ගේ දිගුකාලීන සෞඛ්‍ය සම්පන්නභාවයට අභියෝගයක් එල්ල වන බවයි.

එබැවින් පාසල් පරිසරය තුළ සම්පූර්ණයෙන්ම විකිණීම තහනම් කර ඇති ආහාර වර්ග කොටස් කිහිපයකට වර්ග කර දක්වා ඇත. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අහිතකර මේදය සහ ට්‍රාන්ස් මේදය අධික ආහාර, සංතෘප්ත මේදය සහ ට්‍රාන්ස් මේදය අධික ආහාර ළමා සෞඛ්‍යයට අතිශය හානිකර බවයි.

එමෙන්ම හැම්, සොසේජස්, බේකන් වැනි පිරි සැකසුම් කළ මස් වර්ග, පැටිස්, පැස්තා, පෆ් වර්ග, රෝල්ස්, සමෝසා, බැදපු අර්තාපල් ඇතුළු ගැඹුරු තෙලේ බැදපු ආහාර මෙන්ම සීනි අධික ආහාර සහ පැණි බීම මෙම අහිතිකර ආහාර කාණ්ඩයට ඇතුළත් බව වාර්තා වේ.

අධික සීනි භාවිතය හේතුවෙන් දරුවන් තරබාරු වන අතර ප්‍රධාන වේල් සදහා ඇති රුචියද අඩු ක‍රන බැවින් චොක්ලට්, ඩෝනට්ස්, ඉක්ලෙයාස් වැනි අධික ලෙස පිරි සැකසුම් කළ ආහාර වර්ග, කෝලා වර්ග, කෘත්‍රිම පළතුරු බීම මේ අනුව සෞඛ්‍යයට අහිතකර බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

ඒ අනුව දිවයිනපුරා සිටින පාසල් සිසුන්ගේ දිගුකාලීන යහ පැවැත්ම උදෙසා මෙම නව මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් අදාළ අංශවලින් ඉල්ලා සිටියි.   

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post