රටේ ඉන්ධන මිල වැඩිවීමක්ද? - ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දෙයි

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව ඉදිරියේදී මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනයේදී  මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.

පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසයන්ට සාපේක්ෂව මේ වන විට ඉන්ධන මිල ගණන්වල යම් අඩුවීමක් පෙන්නුම් කරන නමුත් මැදපෙරදිග යුද්ධයට පෙර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පැවැති මිලට වඩා වැඩි මිලකට තවදුරටත් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් ලෝක වෙළෙඳපොළේ අද (29) දවසේ ඉන්ධන මිල අද පස්වරුව වන විට තීරණය වනු ඇති බවත් පැවසූ ඒ මහතා ඒ අනුව එම තත්ත්වයන් සලකා බැලීමකින් පසුව මෙරට ඉන්ධන මිල සම්බන්ධව තීරණය කරනු ඇති බවත් ඒ මහතා පැවසීය.

නමුත් ඉන්ධන මිල ගණන් සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් ඉන්ධන මිල සංශෝධනය සඳහා සාකච්ඡා වාර කිහිපයක් ආරම්භ කළ යුතු බවත් පැවසූ ඒ මහතා ඉන්ධන මිලෙහි සුළු වැඩිවීමක් සිදු වේද නැතහොත් පවතින මිල ගණන් යටතේම අලෙවි කිරීමට තීරණය කරන්නේද යන්න එම සාකච්ඡා වාරයන් හිදි තීරණය වෙනු ඇති බවද සඳහන් කළේය.  

එමෙන්ම ඊයේ (28) දිනයේදී මෙරටට WTI බෙරතෙල් නෞකාවක් දිවයිනට පැමිණි බවත් එම නෞඛාවේ බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000ක් පවතින බවත් සඳහන් කළේය.

එමෙන්ම එළැඹෙන 31 දින වනවිට නැවතත් මර්බන් වර්ගයේ බොරතෙල් නෞකාවක් මෙරටට පැමිණෙන බවත් එම නෞඛාව තුව බොරතෙල් 95,000ක් පවතින බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

"4 වැනි මාසය සහ 3 වැනි මාසය වෙද්දි ලෝක වෙළෙඳපොළේ තිබුණා ඉතාම ඉහළ මිලක්. නමුත් මේ මිල මේ වෙනකොට පහළ මට්ටමකට ඇවිත් තියෙනවා. නමුත් අපි ගත්තොත් යුද්ධය ආරම්භයට පෙර තිබුණ මිලට වැඩිය වැඩි මිලක තමයි තාමත් ලෝක වෙළෙඳපොළේ මිල තියෙන්නේ. ඒ නිසා පැහැදිලිව කියන්න පුළුවන් මිල අඩුවීමක් වෙන්නේ නම් නෑ කිසිසේත්ම. මේ මාසයේ හෝ ඊළඟ මාසයේ... බොහෝ දුරට සැප්තැම්බර් වෙනකන් මිලේ අඩුවීමක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් වැඩි වීමක් තියෙනවාද කියන එක මේ වෙනකොට අපිට කියන්න පුළුවන් කමක් නෑ. අපි ඒක මේ වෙනකොටත් අධ්‍යනය කරමින් ඉන්නේ. අද හවස් වෙද්දි තමයි ජාත්‍යන්තර මිල ප්‍රකාශයට පත් කරන්නේ. ඒ මිලත් බලලා සාමාන්‍යයෙන් අපි 31 වැනිදා තමයි මිල ප්‍රකාශයට පත් කරන්නේ. නමුත් මෙවර 31 ඉරිදා දිනයක් නිසා. අද හවස වෙද්දි ලෝක වෙළෙඳපොළේ තෙල් මිල කොහොමද කියලා ප්‍රකාශයට පත් වෙනවා අද දවසට අනුව. ඒ සියල්ල බලලා ඒ සම්බන්ධව තීරණයක් ගන්නවා. නමුත් ඒ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ආරම්භ කරලා නෑ. සාකච්ඡා වාර කිහිපයක් යන්න ඕනේ. ඒ හින්දා මේ වෙලාවේ අපිට කියන්න බෑ. නමුත් පැහැදිලිවම අඩුවීමක් වෙන්නේ නම් නෑ සමහරවිට මේ ගානටම තියෙනවාද, සුළු වැඩිවීමක් තියෙනවාද කියලා අධ්‍යනය කරන්න ඕනේ. හැබැයි පැහැදිලිවම විශාල වැඩිවීමක් නම් වෙන්නේ නැහැ. මොකද මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරන්න ඕනේ නෑ."

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post