
අද (24) උදෑසන වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්වූ "සාගරිකා" සීඝ්‍රගාමී දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, ඉන් අවහිර වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කොළඹ සිට පානදුර දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පානදුර සිට දකුණු කළුතර දක්වා මගීන් ප්‍රවාහනය කිරීමට ලංගම බස් රථ යොදවා ඇති අතර, දකුණු කළුතර සිට මාතර සහ බෙලිඅත්ත දක්වා යළි දුම්රිය ධාවනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාවතට දැඩි හානි සිදුව තිබුණ ද, අද සවස් කාලය වීමට පෙර එක් මාර්ගයක් හෝ යථා තත්ත්වයට පත් කර දුම්රිය ධාවනයට එක් කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.