
ඔහු ලාංකීය පුවත්පත් කලාවේ නොමැකෙන චරිතයක්. මේ අන්න ඔහු ගැන ඇසෙන සංවේදී කතාවයි.
දිවයින ඉරිදා සංග්‍රහයේ හිටපු ප්‍රධාන කර්තෘ අනුර සොල්මන්ස් අද දහවල් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට හැට හය හැවිරිදි වියේ පසුවූ ඔහු දෙදරු පියෙක්. හදිසියේ ඇති වූ හෘද රෝගී තත්ත්වයක් මත පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ පසුව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා.
කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය යන විද්‍යාලයන්හි ඉගෙනුම ලැබූ ඔහු, පසුව ආධුනික මාධ්‍යවේදියෙකු ලෙස මල්ටිපැක්ස් ආයතනය ප්‍රකාශයට පත් කළ 'ඉරිදා' පුවත්පතේ කතෘ මණ්ඩලය සඳහා එක්වුණා. පසුව දිවයින කර්තෘ මණ්ඩලයට එක්වූ මේ ප්‍රවිණ මාධ්‍යවේදියා, දිවයින පුවත්පතේ ව්‍යාපාරික කර්තෘ සහ විදේශ පුවත් කර්තෘ වැනි තනතුරු දරා දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ ධුරය ද හෙබවුවා.
ප්‍රකට විශේෂාංග ලේඛකයෙකු වූ ඔහු නූතන පුවත්පත් කතුවැකිය සඳහා විශිෂ්ට ආරක් නිර්මාණය කරමින් දශක දෙකකට වැඩි කාලයක් දිවයින පුවත්පතේ කතුවැකිය රචනා කළා. ජනමාධ්‍ය කලාව පිළිබඳව විදේශ රටවල් ගණනාවක පුහුණුව ලද ඔහු, අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව පිරිනමන ආරාධිත අමුත්තන්ගේ නායකත්ව ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අමෙරිකාවේ ප්‍රාන්ත පහකදී ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් හැදෑරුවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිත බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.