විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!


මෛත්‍රී ගුණරත්නගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව ගැන මුදල් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කරනවා, ඇමැති නලින්ද කියයි

විදෙස් රටකට ණය ගෙවීමට වැය කළ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන්ට ගිය බවට අනාවරණය වී ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය විසින් කරුණු පැහැදිලි කිරීමක් කරනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කැබිනට් මාධ්‍ය හමුවේ දී ඊයේ (22) මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති නලින්ද ජයතිස්ස මහතා මේ බව කියා සිටියේය. කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියා විසින් අසන ලද ප්‍රශ්නය මෙසේය.

අපට විශේෂ තොරතුරක් ලැබිලා තිබෙනවා රාජ්‍ය මුදල් අස්ථානගත වීමක් සම්බන්ධව. ශ්‍රී ලංකා රජය විසින් 2025 සැප්තැම්බර් මස අග වන විට ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට ණය පියවීමක් සිදුකර තිබෙනවා. හැබැයි ඒ මුදල ගිහින් තියෙන්නේ අදාළ රටට නෙවෙයි කිසියම් පරිගණක හැකර්වරයකුට. ඒ ගැන හොයන්න මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පරීක්ෂණ කමිටුවකුත් පත් කරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය වැනි රටේ ආර්ථිකමය වශයෙන් ඉතාමත් වැදගත් ආයතනයක් මේ වගේ මුදල් ගෙවීමක් කරනකොට හොයලා බලලා නේද සිදු කරන්නේ? එහෙනම් මේ වගේ සිදුවීමක් වුණේ කොහොමද? මේ සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලැබුණාද? ඔබතුමා මේ කාරණය දන්නවද?

මෙයට පිළිතුරු දෙමින් ඇමැති නලින්ද ජයතිස්ස කියා සිටියේ දැනට තමා සතුව ඇත්තේ මෛත්‍රී ගුණරත්න මහතාගේ ලිපිය පමණක් බවයි.

ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය පියවීම සඳහා වෙන් කළ ඩොලර් මිලියන 2.5 ක මුදලක් අදාළ පාර්ශ්ව වෙත නොලැබී පරිගණක හැකර්වරයකු සන්තකයට පත්ව ඇති බවට ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයේ සභාපති, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා රජයට බරපතළ චෝදනාවක් එල්ල කර ඇති අතර ඒ ගැන ඔහු කථානායකවරයාට ලිපියක් යවා ඇත.

මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විමර්ශනයක් සිදු කරන ලෙස සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇත්තේ කථානායකවරයා බව ද ඇමැති නලින්ද ජයතිස්ස මහතා පිළිතුරු දෙමින් සඳහන් කළේය.

2025 සැප්තැම්බර් සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ සිදු කළ මෙම ගෙවීම සම්බන්ධයෙන් දැනටමත් භාණ්ඩාගාර නිලධාරීන් පස්දෙනකුගේ වැඩ තහනම් කර ඇති බවත්, ඒ පිළිබඳ සොයා බැලීමට මාර්තු 24 දා තාක්ෂණික විමර්ශන කමිටුවක් ද පත් කර තිබෙන බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් කථානායකවරයාට යවන ලද සිය ලිපියේ සඳහන් කර ඇත.

මෑතක් වන තුරුම විදේශ ණය, වාරික සහ පොලිය නැවත ගෙවීමේ කටයුතු සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බවත් නව මුදල් පනත සම්මත වීමෙන් පසුව එම වගකීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරී ඇති බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සිය ලිපියේ සඳහන් කර ඇත.

රාජ්‍ය මූල්‍ය පිළිබඳ අවසන් වගකීම පාර්ලිමේන්තුව සතු බැවින්, මුදල් අමාත්‍යාංශයෙන් පරිබාහිර ස්වාධීන කණ්ඩායමක් හරහා මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙස ද ඔහු වැඩිදුරටත් එම ලිපියෙන් ඉල්ලා සිට ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post