ඉන්ධන අර්බුදයට රජයෙන් දැඩි තීරණ


මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන සපයා ගැනීමේ අවිනිශ්චිත තත්ත්වයට මුහුණ දීම සඳහා රජයේ කාර්යාල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ තීරණ කිහිපයක් ගත් බව රජය නිවේදනය කරනවා.

ඊයේ (16) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණ ගෙන ඇති අතර රජයේ කාර්යාල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේදී නිලධාරීන්ගේ ප්‍රවාහන කටයුතු සහ කාර්යාල නඩත්තුව සඳහා විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය වන බැවින්, පවතින සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම මෙහි මූලික අරමුණයි.

එම තීරණ පහතින්. නැවත දැනුම් දෙන තුරු සෑම සතියකම බදාදා දිනය රජයේ කාර්යාල කටයුතු සඳහා නිවාඩු දිනයක් ලෙස සැලකිය යුතු ය. ඒ අනුව, බදදා දිනය තුළ මේ වන විට ක්‍රියාත්මක වන රාජකාරි එම සතියේ අඟහරුවාදා දිනට යොදා ගත යුතු ය.

එසේ වුව ද, යම් නිලධරයෙකු එදිනට සේවයේ යෙදවිය යුතු යැයි ආයතන ප්‍රධානියා විසින් තීරණය කරනු ලබන්නේ නම් අදාළ නිලධරයන් සේවයට කැඳවීමට මෙය බාධාවක් නොවිය යුතු අතර, ඒ සඳහා නිවාඩු දින වැටුප්, අතිකාල හෝ හිලව් නිවාඩු ලබා නොදිය යුතු ය.

නිලධරයෙකු සේවා ස්ථානයට නොකැඳවා ඔහුට පැවරී ඇති රාජකාරි ඉටු කරවා ගැනීමට අවශ්‍ය ආයතනික තාක්ෂණික පහසුකම් දැනටමත් පවතින දෙපාර්තමේන්තුවල ප්‍රධානීන්ට/රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට එම නිලධරයාගේ සේවය ඔහු/ ඇය සේවා ස්ථානයට නොකැඳවා ලබා ගැනීමට හැකි වැඩපිළිවෙලක් සකසා ගත හැකිය.

එසේම, බදාදා දිනයේ වසා තබන කාර්යාලවල නිලධරයන් එම සතියේ සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයක දී අතිකාල ගෙවීමේ පදනමින්, නිවාඩු දින වැටුප් ගෙවීමේ පදනමින් හෝ හිලව් නිවාඩු ලබාදීමේ පදනමින් හෝ සේවයේ නොයෙදවිය යුතු ය.

එසේ වුව ද, සේවයේ හදිසි අවශ්‍යතාවක් මත සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයක දී හෝ ස්වකීය ආයතනයේ නිලධරයන් සේවයට කැඳවීමේ අවශ්‍යතාවක් ඇතිවුවහොත් අදාළ අමාත්‍යාංශ ලේකම්ගේ/ පළාත් ප්‍රධාන ලේකම්ගේ/ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ/ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ගේ අනුමතිය ඇතිව අදාළ ආයතන ප්‍රධානියාට එම නිලධරයන් සේවයට කැඳවීමට බාධාවක් නොමැත.

එසේ සේවයට කැඳවනු ලබන නිලධරයන් සඳහා අතිකාල දීමනා, නිවාඩු දින වැටුප් හෝ හිලව් නිවාඩු ලබා දීමට බාධාවක් නොමැත. තව ද, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා වලට අදාළ රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය නිලධරයන් කැඳවීමේ බලය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරේ.

අධිකරණ ක්ෂේත්‍රයට අයත් ආයතන වෙත නිලධරයන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබා දෙනු ඇත. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින පාසල් ඇතුලු අධ්‍යාපන ආයතන, මෙම කාල සීමාව තුළ පවත්වා ගෙන යාම පිළිබඳව අවශ්‍ය උපදෙස් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විසින් ලබා දෙනු ඇත.

රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අදාළව මෙම චක්‍රලේඛ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ දී යම් ගැටලුවක් මතු වුවහොත්, ඒ සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් විමසා එකී උපදෙස් පරිදි කටයුතු කළ යුතු ය. තවද, රජයේ ආයතනවල උත්සව සම්මන්ත්‍රණ වැනි දේ සංවිධානය කිරීම නතර කිරීමට අවශ්‍ය පියවර ගත යුතු ය.

මෙහි දී රාජ්‍ය වියදම් කළමනා කරණය කර ගැනීම සඳහා විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ 2022.03.08 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2022 කෙරෙහි ද අවධානය යොමු කර කටයුතු කළ යුතුය.

තව ද, රජයේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාමට මෙයින් බාධාවක් නොවිය යුතු අතර, එම අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා මෙන් ම අමාත්‍යාංශ ලේකම්වරයෙකු/ පළාත් ප්‍රධාන ලේකම්වරයෙකු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානියෙකු විසින් බදාදා දිනයේ දී විවෘතව තැබිය යුතු බවට තීරණය කරනු ලබන ආයතන සඳහා ද මෙම චක්‍රලේඛ විධිවිධාන අදාළ කර නොගතයුතුය. එම ආයතන මෙම දිනය සාමාන්‍ය රාජකාරි දිනයක් සේ සලකා කටයුතු කළ යුතු ය.

එමෙන්ම මේ වන විට සේවා මුර ක්‍රමය යටතේ නිලධරයන් සේවයේ යොදවනු ලැබූ රාජ්‍ය ආයතන සඳහා මෙම චක්‍රලේඛ විධිවිධාන අදාළ කර නොගත යුතු ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post