වාහන අංක තහඩු නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක්


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, වාහන අංක තහඩු නිකුත් කිරීම අත්හිටුවා තිබූ පසුගිය මාස 9 කාලය තුළ නව අංක තහඩු ලක්‍ෂ තුනකට අධික සංඛ්‍යාවක් ගොඩගැසී පවතින බවයි.

මෙම අංක තහඩු හිමි වාහන අතර, නව වාහන ලක්‍ෂ තුනකට අධික සංඛ්‍යාවක් සහ හිමිකම් මාරු කළ වාහන 25,000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ.

අංක තහඩු සැපයීමේ ටෙන්ඩරය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්, පසුගිය වසරේ (2025) අප්‍රේල් මස සිට අංක තහඩු නිකුත් කිරීම අත්හිටුවා තිබූ බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වසරේ ජනවාරි මස පමණක් යතුරුපැදි ඇතුළු වාහන 55,238 ක් ලියාපදිංචි කර ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ එය ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් විය හැකි බව සඳහන් කළේය.

වසර තුනකට පසු, පසුගිය වසරේ පෙබරවාරි මස නැවත වාහන ආනයනයට අවසර දීමත් සමඟ වාහන ලියාපදිංචි කිරීම ඉහළ ගිය අතර, පසුගිය වසරේ පමණක් යතුරුපැදි ලක්‍ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කර තිබේ.

පසුගිය ජනවාරි 6 වැනිදා කැබිනට් තීරණය පිළිබඳ මාධ්‍ය හමුවේදී, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අංක තහඩු මුද්‍රණය සඳහා සැපයුම්කරුවකුට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි.


එම ටෙන්ඩරය ඉන්දීය සමාගමක් වන සවුත් ඒෂියන් ටෙක්නොලොජීස් සමාගමට හිමිව තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සමග කළ විමසුමකදී ඔහු පැවසුවේ, මාස තුනක පමණ කාලයක් ගතවීමෙන් පසු නව අංක තහඩු නිකුත් කිරීම ආරම්භ කළ හැකි බවයි.

ටෙන්ඩරය ලබා දී ඇති සමාගමට මැෂින් සවි කිරීම හා කාර්ය ආරම්භ කිරීමට මාස තුනක කාලය ලබාදී ඇති බැවින්, නව අංක තහඩු නිකුත් කිරීමට මාස තුනක් බලාසිටීමට සිදුවිය හැකි බවද ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post