
ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ අංශයේ වාර්තා අනුව මේ වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ පෞද්ගලික වාහන ආනයනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 705ක් වැය වී ඇත.
ඒ අනුව වාහන ආනයනකරුවන් සඳහන් කරන්නේ ජපානයේ නිෂ්පාදිත වාහන මිල පහළ යෑමත් සමඟ මෙරට තුළ වාහන මිලද අඩුවෙමින් තිබෙන බවයි.
එසේම ජපානයේ ගැනුම් මිල පහළ බැස ඇත්තේ එහිදී මිලදී ගැනීම් සිදු නොවන නිසා බව පවසයි. ඒ අනුව වාහන විශාල ප්‍රමාණයක් රටට පැමිණීම නිසා ලියාපංචි කරන ලද වාහනවල මිලද සෑහෙන ප්‍රමාණයකින් පහළ යමින් ඇති බව වාර්තා වේ.
වාහන වෙළඳපොළේ ඇතැම් වාහන රුපියල් ලක්ෂ 10ක් සහ 15ක් අතර ප්‍රමාණයකින් පමණ අඩු වී ඇති බව ද සඳහන්.
උදාහරණයක් වශයෙන් රුපියල් ලක්ෂ 255ත් 250ත් අතර මිලකට තිබූ වාහනයක් අද වන විට රුපියල් ලක්ෂ 235ක් වැනි මිලකට අඩු තිබෙනවා.
ඒ අනුව දක්වා ඇත්තේ ජපානයෙන් පෞද්ගලිකව ආනයනය කරගත හැකි වාහනවල මිල මෙසේ පහත වැටී ඇති බවයි.
එබැවින් ප්‍රදර්ශනාගාර මට්ටමේ ඇති 2025 වර්ෂයේ නිෂ්පාදිත Honda Vezel වර්ගයේ මෝටර් රථයක් සහ Toyota Yaris වර්ගයේ මෝටර් රථයක් පැවති මිලට වඩා රුපියල් ලක්ෂ දෙකක් පමණ ප්‍රමාණයකින් අඩු වී ඇති බව සඳහන්.
තවද Suzuki Alto දෙමුහුන් (Hybrid) මෝටර් රථයක් සහ වැගන්ආර් (Wagon R) වර්ගයේ දෙමුහුන් සහ පෙට්‍රල් මෝටර් රථයක් පැවති මිලට වඩා රුපියල් ලක්ෂ පහත් හයත් අතර ප්‍රමාණයකින් අඩුවී තිබෙන බව ද පවසයි.
මේ අතර දේශීය වෙළඳපොළේ වැඩිපුරම අලෙවි වන්නේ Toyota Raize සහ Toyota Yaris මාදිලි බව සඳහන්.
එසේම ඉහළ මට්ටමේ වාහන ගත් කල, Lexus LC 300 සහ Prado මාදිලි විකිණෙන අතර, Double Cab සහ Ford Pickup වැනි වාහනද විශාල වශයෙන් අලෙවි වන බව පවසයි.
එමෙන්ම පාවිච්චි කරන ලද වාහන අතරින් Nissan කාණ්ඩය ඉදිරියට යන අතර සමස්තයක් වශයෙන් විකිණෙන CrossOver SUV වාහන අතරින් Honda Vezel මාදිලිය අංක එකේ විකිණෙන වාහනය වශයෙන් සැලකේ.