එකම නිවසේ තට්ටු දෙකක වෙන්ව ජීවත්ව සිටි සැමියා බිරියව මරා හංගලා

විදෙස්ගතව සිටින තම දරුවන්ට මව සම්බන්ධ කර ගැනීමට නොහැකි වීමත් සමඟ ඇති වූ සැකයක්, අවසානයේ දී මහා ඛේදවාචකයක් හෙළිදරව් කර තිබේ. දින කිහිපයකට පසු, කේරළයේ කෝට්ටායම් හි පදිංචි 49 හැවිරිදි ජෙසී නමැති කාන්තාවගේ මළ සිරුර, ඇගේ නිවසේ සිට කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටි ප්‍රපාතයක දමා ගොස් තිබියදී සොයා ගන්නා ලදී.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගෙන් වෙන්ව ජීවත් වූ 59 හැවිරිදි සැමියා වන කප්පඩකුන්නේල් සෑම් ජෝර්ජ් ඔක්තෝබර් 3 වන දින පොලිස් අත්අඩංගුවට පත්විය.

පොලිසියට අනුව, මෙම යුවළ කෝට්ටායම් හි කනක්කාරි ගම්මානයේ පිහිටි එකම නිවසේ වුවද, නීත්‍යානුකූලව දික්කසාද නොවී වෙන් වෙන්ව ජීවත් වී ඇත. සෑම් වෙනත් කාන්තාවන් සමඟ පැවැත්වූ සබඳතා පිළිබඳව ජෙසී ප්‍රශ්න කිරීම මෙම ඝාතනයට ආසන්නතම හේතුව වී ඇති බවට සැක කෙරේ. කලක් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු ලෙස බැංගලෝර් සහ මැදපෙරදිග සේවය කර ඇති සෑම්, මෑතකදී කෝට්ටායම් හි එම්.ජී. විශ්වවිද්‍යාලයේ සංචාරක කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරමින් සිට ඇති අතර, එහිදී ඔහු තම විවාහක තත්ත්වය සඟවා තනිකඩයෙකු ලෙස පෙනී සිට ඇත.

කෝට්ටායම් පොලිස් අධිකාරී ශාහුල් හමීඩ්ට අනුව, මෙම යුවළ අතර පසුගිය දශකයක පමණ කාලයක් තිස්සේ විවාහ ජීවිතයේ ගැටලු පැවතී තිබේ. 2015 වසරේ සිට ඔවුන් එකම නිවසේ, ජෙසී බිම් මහලේ ද සෑම් උඩුමහලේ ද වශයෙන් ජීවත් වී ඇත. විදෙස් සංචාරවල යෙදීම සහ විදේශීය කාන්තාවන් මිතුරියන් කර ගැනීම සෑම්ගේ පුරුද්දක්ව පැවති බව පොලිසිය පවසයි. මේ වසරේ ජනවාරි මාසයේදී ටෙහෙරානයට ගොස් සිටියදී ඔහු ඉරාන ජාතික කාන්තාවක් හඳුනාගෙන ඇති අතර, කේරළයේ උසස් අධ්‍යාපන අවස්ථා ඇති බව පවසා ඇයව මෙරටට ගෙන්වා ගැනීමට පොළඹවාගෙන තිබේ.

එම ඉරාන ජාතික කාන්තාව, සෑම් අධ්‍යාපනය ලැබූ එම්.ජී. විශ්වවිද්‍යාලයේම යෝගා පාඨමාලාවකට ඇතුළත් වී ඇත. සෑම් ඇයව තම නිවසට රැගෙන ඒමට උත්සාහ කළද, ජෙසීගේ දැඩි විරෝධය හමුවේ එම සැලැස්ම ව්‍යර්ථ වී තිබේ. මේ අතර, ගෘහස්ථ හිංසනයෙන් කාන්තාවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඔවුන්ගේ විවාහ ආරවුල පිළිබඳ නඩුවක් විභාග වෙමින් පැවති අතර, ජෙසීට එම නිවසේම රැඳී සිටීමට අධිකරණය අවසර ලබා දී තිබිණි. ජෙසී විසින් ගොනු කර තිබූ නඩත්තු නඩුවේ තීන්දුව ඇයට වාසිදායක ලෙස ලැබෙනු ඇතැයි සෑම් බියෙන් පසුවූ බව පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම තත්ත්වය උත්සන්න වූයේ සැප්තැම්බර් 26 වන දිනයි. ජෙසී සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව, සෑම් විසින් ඇයව ගෙල සිරකර මරා දමා, මළ සිරුර තම මෝටර් රථයේ පිටුපස දමාගෙන කිලෝමීටර් 60ක් දුරින් පිහිටි ඉඩුක්කි හි උඩුම්බන්නූර් ගම්මානයට ගෙන ගොස් තිබේ. එහිදී අඩි 50ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට සිරුර තල්ලු කර දමා ඇති අතර, මළ සිරුර බැහැර කිරීමට තෝරාගත් ස්ථානය ඔහු මීට වසර කිහිපයකට පෙර ජීවත් වූ ප්‍රදේශයක් ආසන්නයේ පිහිටි එකක් වීම සහ පසුගිය මාසයේ ඔහු එම ස්ථානයට පැමිණ තිබීම, මෙම ඝාතනය සැලසුම් සහගත එකක් බවට සැක මතු කරන බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් පසු දින, විදෙස්ගතව සිටින යුවළගේ දරුවන් තිදෙනාට මව සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා, ඔවුන් ඥාතීන් දැනුවත් කර පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත. ඒ වන විට සෑම් තම මෝටර් රථයද අතහැර දමා පළා ගොස් තිබිණි. පසුව, සෑම් සහ ඔහුගේ ඉරාන ජාතික මිතුරිය මයිසූර් නගරයේදී සොයා ගැනීමට පොලිසිය සමත් විය. සැකකරු සමඟ ඉඩුක්කි වෙත ගිය පොලිසියට ජෙසීගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වූ අතර, මෙම ඝාතනයට ඉරාන ජාතික කාන්තාවගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඇය ඒ පිළිබඳව දැනගත්තේ සෑම් අත්අඩංගුවට පත්වීමෙන් පසුව බවත් පොලිසිය තහවුරු කර තිබේ.

ධනවත් පවුලකින් පැවත එන සෑම්, කයිපට්ටූර් හි උපන් ජෙසීව හමුවී ඇත්තේ බැංගලෝරයේදී වන අතර, 1994 දී ඔවුන් විවාහ වී ඇත. පවුලේ විරෝධතා හේතුවෙන් මෙම විවාහය පල්ලියේ හෝ නීත්‍යානුකූලව ලියාපදිංචි කර නොමැති බව වාර්තා වේ. ජෙසී, සෑම්ගේ දෙවන බිරිඳ වූ අතර, ඔහුගේ පළමු විවාහයෙන් සිටි දියණියව හදා වඩා ගනිමින් ඇය එම දරුවාට ද මවකගේ සෙනෙහස ලබා දී තිබේ. මෙම යුවළට විදෙස්ගතව සේවය කරන පුතුන් දෙදෙනෙකු ද සිටියි.

(Times of India ඇසුරිනි)


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post