
අවුරුද්දයි මාස එකොළහක් වයසැති බිළිදියක් නීත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කොට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරුවූ විත්තිකරුවෙකුට ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය බරපතළ වැඩ සහිත වසර පහළොවක සිරදඬුවම් සහ රුපියල් තිස් දහසක දඩ මුදල්ද වින්දිත දැරියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවීමටද නියම කළාය.
මෙසේ දඩුවම් නියම වූයේ ගාර්දිය හේවා වසම් ගාල්ලගේ පැටී ජයරත්න (අවුඃ64) නමැති විත්තිකරුවෙකුටය. බිළිඳිය නීත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනවට බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් පන් දහසක දඩයක්ද දඩය නොගෙවන්නේ නම් තවත් මාස දෙකක සිර දඬුවමක්ද නියමවූ අතර බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වසර දොළහක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් විසිපන් දහසක දඩයක්ද දඩය නොගෙවන්නේ නම් තවත් මාස හතරක සිර දඬුවමක් වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක්ද විත්තිකරුට නියම විය.
විත්තිකරු 2015.08.28 දින අසල්වැසි නිවසකට ගොස් එම නිවසේ සිටි අවුරුදු එකයි මාස එකොළහක් වයස දැරියට ටොපි ගෙන දීමට බව පවසා වඩාගෙන ගොස් ඇති බවත් එම අවස්ථාවේ දැරියගේ මව නාමින් සිට ඇති බවත් පසුව දැරියගේ කලවා දෙකේ ලේ තැවරි තිබෙනු දැක පොලිසියට පැමිණිලි කර ඇති බවත් පැමිණිල්ල කියා සිටියේය. සිද්ධිය වන අවස්ථාවේ විත්තිකරු 54 හැවිරිදි විවාහකයෙකු බවත් පැමිණිල්ල කියා සිටියේය. විත්තිකරුගේ නීතිඥවරයා කියාසිටියේ එම අවස්ථාවේ විත්තිකරු බීමත්ව සිට ඇති බවය.
ඉදිරිපත්වූ සියලු කරුණු සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කොට මෙසේ දඬුවම් නියම කළාය.
රජයේ නීතිඥ ශිරන්ත පලුගස්වැව මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර අක්මීමණ පොලිසියේ සැරයන් අමිල (72829) මහතා පැමිණිල්ලට සහාය විය.
අහංගම- සුගතපාල දීයගහගේ