අයිස් සිද්ධියට ඇල්ලූ මනම්පේරි ජොන්ස්ටන්ගේ ලේකම්වරයෙක්

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සම්පත් මනම්පේරි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇතැයි මහජන ආරක්ෂක, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය සිද්ධිවලට සම්බන්ධ තවත් පිරිස් පොදුජන පෙරමුණේ සිටින බවත් උඩ සිටින අය සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

රටට මත්ද්‍රව්‍ය ගෙන එන්නේ කවුරුන් ද සහ දේශපාලන ආශීර්වාදය සහිතව පාතාලය පවත්වා ගෙන ගියේ කවුරුන් ද කියා ජනතාව හොඳින් දන්නා බවත් පාතාලය, කුඩු මත්ද්‍රව්‍ය ආදියෙන් රට විනාශ කළ පිරිස් පලවා හැරීමට ජනතාව කටයුතු කළ බව ද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (25) පැවැති විවාදයේදී ඉදිරිපත් කළ ඇතැම් අදහස්වලට පිළිතුරු දෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, කිසිවකුගේ දේශපාලන වුවමනා මත වත්මන් ආණ්ඩුව කටයුතු නොකරන බවයි. නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව සෑම මොහොතකම කටයුතු කරන අතර පොලීසිය විසින් කිසිදු ත්‍රිවිධ හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි. හිටපු නාවික හමුදාපතිවරයකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ද අධිකරණ නියෝගයක් මත බව ඇමැතිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“සිදුවීමක් වුණාම කුඩු ලන්සා බඳාගෙන හිටියා වගේ අපි කළේ නැහැ. අපි එක එක්කෙනාගේ දේශපාලන වුවමනා ඉටු කිරීමට සූදානම් නැහැ. නාමල් මන්ත්‍රීතුමා ඕගොල්ලො වගේ අපි වැඩ කරන්නේ නැහැ. අපි නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්නටයි කටයුතු කරන්නේ. මේ රටේ පොලීසියක් තිබෙනවා. බුද්ධි තොරතුරු තිබෙනවා.

අපි කිසිවිටෙකත් හමුදා නිලධාරින් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නැහැ. යම් අත්අඩංගුවට ගැනීමක් සිදුකර තිබේ නම්, එය සිදුකර තිබෙන්නේ අධිකරණ නියෝග මතයි. නාමල් මන්ත්‍රීවරයා කියපු කතාව සත්‍යයක් නෙවෙයි. හිටපු නාවික හමුදාපතිවරයා බුද්ධි අංශයේ සිටියදී සිදුකළ ක්‍රියාවක් අනුව අධිකරණ නියෝගය මත තමයි අත්අඩංගුවට පත් වුණේ. ඒ වගේම කන්ටේනර් සම්බන්ධයෙන් ප්‍රශ්නවලදී ලැබෙන පැමිණිලි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන සිදු කරනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජයට ඇඟිල්ල දිගු කරන්න උත්සාහ කළා.

මේ දිනවල තිබෙන මත්ද්‍රව්‍ය සිදුවීමට පොහොට්ටුවේ සම්පත් මනම්පේරි මන්ත්‍රීවරයා සම්බන්ධයි. ඔහු අත්අඩංගුවේ ඉන්නේ. සම්පත් මනම්පේරි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්. ඕන තරම් මත්ද්‍රව්‍ය සිද්ධීන්වලට සම්බන්ධ අය පොහොට්ටුවේ ඉන්නවා. ඒ අය අත්අඩංගුවට අරන් තිබෙනවා. උඩ ඉන්න අය සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරනවා. ඒ පිළිබඳව ගැටලුවක් නැහැ.

ඒ නිසා මේ රටේ මහජනතාව දන්නවා, මේ රටට කුඩු ගේන්නේ කවුද කියලා. ඒ නිසා තමයි මේ අය එළවලා දැම්මෙත්. විමර්ශන සිදු කරනවා. අපි කියන්නේ සම්පත් මනම්පේරි පොහොට්ටුවේ සංවිධායකවරයෙක්. ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරණ ලේකම්.

කුඩු ගෙනල්ලා තමන්ගේ ඇඟට එන ඒවා අනිත් අයගේ ඇඟට දාන්න එපා. මේ රටේ ජනතාව ඇත්ත දන්නවා. ජනතාව දන්නවා දීර්ඝ කාලයක් දේශපාලන ආශීර්වාදය සහිතව පාතාලය පෝෂණය කරලා, පාතාලය පවත්වා ගෙන ගිහිල්ලා, වර්ධනය කරලා කුඩුත් ගෙනල්ලා මේ දෙක තුනම සම්බන්ධ කරලා රට විනාශ කරලා, දැවැන්ත ව්‍යසනයක් ඇති කරලා දරුවාගේ අනාගතය විනාශ කරලා රටේ ප්‍රශ්න ඇති කරලා, රටේ මිනිස්සු පන්නලා දැම්මට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිත් විපක්ෂයේ කාර්යභාරය ගැන කතා කරනවා.”

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

“ඔබතුමාලා පරීක්ෂණ කරන්න. සම්පත් මනම්පේරි ඡන්දේ ඉල්ලුවා. ඔහු මේකට සම්බන්ධ නම් උපරිම දඬුවම් දෙන්න. හැබැයි අපි පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අය වගේ හංගගෙන හිටියේ නැහැ. බුද්ධි අංශයෙන් ආපු වාර්තාව ගැන ක්‍රියාත්මක නොවුණේ ඇයි?”

ඇමැති ආනන්ද විජේපාල මහතා,

“අපිට ආපු තොරතුරු අනුව නාකොටික් එක ගිහින් පරික්ෂා කළා. ඒ සම්බන්ධයෙන් තමයි ආයිත් විමර්ශන සිදු කරනවා. යම් සිදුවීමක් වුණා. සිදුවීමක් වුණාම කුඩු ලන්සා බඳාගෙන හිටියා වගේ අපි කළේ නැහැ. අපි එක එක්කෙනාගේ දේශපාලන වුවමනා ඉටු කිරීමට සූදානම් නැහැ. නාමල් මන්ත්‍රීතුමා ඕගොල්ලො වගේ අපි වැඩ කරන්නේ නැහැ. අපි නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්නටයි කටයුතු කරන්නේ. මේ රටේ පොලීසියක් තිබෙනවා. බුද්ධි තොරතුරු තිබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post