
උඩදුම්බර, දඹගහපිටිය ප්‍රදේශයම සෝ සයුරේ ගිල්වමින්, මීට දින කිහිපයකට පෙර ලියුකේමියා රෝගය හේතුවෙන් මියගිය සිය සැමියාගේ වියෝව දරාගත නොහැකිව තිදරු මවක් සිය දරුවන් තිදෙනාට වස මුසු කිරී ලබා දී ඇය ද වස පානය කර දිවි තොර කර ගැනීමේ ශෝකජනක පුවතක් වාර්තා විය. මෙම සිදුවීමෙන් තිස් දෙහැවිරිදි වියේ පසුවූ රසිකා නිල්මිණී හේරත් මහත්මිය මියගොස් ඇත.
සිය සැමියා වූ තිස් තුන් හැවිරිදි එස්.ජී. මද්දුම බණ්ඩා මහතාගේ දේහය නිවසේ තැන්පත් කර තිබියදී, ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබූ දිනයේ මෙම මව මෙලෙස සිය දිවි හානි කරගෙන තිබේ. ඇය විසින් වස මුසු කරන ලද කිරි සිය දරුවන් තිදෙනාට පානය කිරීමට ලබා දී ඇති නමුත්, එහි පැවති තිත්ත රසය හේතුවෙන් දරුවන් එය පානය නොකර ඉවතට දමා ඇත. අනතුරුව එම කිරි වීදුරුවේ ඉතිරිය පානය කළ මව නිවස තුළම ජීවිතක්ෂයට පත්ව තිබිණි.
උඩදුම්බර හදිසි මරණ පරීක්ෂක ගාමිණී බස්නායක මහතා විසින් පැවැත්වූ මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් මියගිය කාන්තාවගේ දොළොස් හැවිරිදි වැඩිමහල් පුත්, ලක්ෂිත මදුෂාන් දුෂ්මන්ත බණ්ඩාර, සිද්ධිය විස්තර කළේය.
"අම්මා උදේ ගෙනත් දුන්න කිරි එකේ හරිම තිත්ත රසක් තිබුණා. ඒ නිසා මම කටේ තිබ්බ ටික බිමට දැම්මා. මල්ලිලා දෙන්නත් ඒක බිව්වේ නෑ. ඊටපස්සේ අම්මා කෝප්පේ තිබුණු කිරි ඔක්කොම බිව්වා. ටික වෙලාවකින් ඇඳට වැටිලා කෑගහන්න ගත්තා. අපි 'අම්මේ ඇස් අරින්න' කියලා කෑගැහුවත් අම්මා ඇස් ඇරියේ නෑ" යැයි එම දරුවා හැඬූ කඳුළින් ප්‍රකාශ කළේය. "තාත්තා මැරුණ නිසා ජීවත් වෙලා වැඩක් නෑ, පුතාලව හදාගන්න විදිහක් නෑ" යැයි මව තමන් සමඟ පැවසූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට එක්වූ මියගිය කාන්තාවගේ පියා වන ඩබ්ලිව්.ජී. හීන්බණ්ඩා මහතා පැවසුවේ තම දියණිය කලක සිට මානසික රෝගී තත්ත්වයකින් පසුවූ බවයි. සැමියාගේ අභාවයත්, දරුවන් තිදෙනාම ලියුකේමියා රෝගයෙන් පෙළීමත් යන කාරණා හමුවේ ඇය දැඩි කම්පනයකින් හා දුකකින් පසුවූ බවත්, දරුවන් රැකබලා ගැනීමට නොහැකිවෙතැයි යන බියෙන් මෙම තීරණය ගන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවත් ඔහු සාක්ෂි දෙමින් කියා සිටියේය.
වයස අවුරුදු පහ, එකොළහ සහ දොළහ යන වයස්වල පසුවන පිරිමි දරුවන් තිදෙනා මේ වන විට උඩදුම්බර රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මියගිය අඹුසැමි යුවළගේ දේහයන් දඹගහපිටිය පොදු සුසාන භූමියේ එකම වළක මිහිදන් කෙරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී විශේෂඥ මනෝ වෛද්‍ය වින්ධ්‍යා විජය බණ්ඩාර මහත්මිය මෙසේ පැවසුවාය.
' ජීවිතේ ගත කරන හැමෝටම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්ට සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්න හින්දා ජිවිතේ කඩා වැටීම, කලකිරීම් සිද්ධ වෙන්ට පුළුවන්. ඒ වගේ වෙලාවට ජීවත් වුණා ඇති මැරුණ නම් හොඳයි වගේ සිතුවිලි නිතර නිතර එන්ට පුළුවන්. එහෙම සිතුවිලි නිතර නිතර එනවා නම් එය සාමාන්‍ය තත්වයක් නෙවෙයි. එවැනි වෙලාවට ඔබට උදව් ඕනැ වෙනවා. පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ වෙනත් සුදුසු වෛද්‍යවරයකුගෙන් මානසික උපකාර ලබා ගන්ට පුළුවන්. එසේත් නැත්නම් 1926 මානසික සෞඛ්‍ය උපකාර සේවාවට කතා කර පිරිසරණක් ලබා ගන්ට පුළුවන්."