
එළඹෙන සැප්තැම්බර් 14, සඳුදා සිට 19, සිකුරාදා දක්වා දිවයින පුරා පළාත් පාලන ආයතන මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත “පුනරුදයේ පුරවර” – 2026 පළාත් පාලන සතිය ප්‍රකාශයට පත් කිරීමේ නිල මාධ්‍ය හමුව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පවත්වා ඇත.
ඒ අනුව “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති මාලාව අනුව යමින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය ක්‍රියාත්මක කරනු ලබන “පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහන යටතේ, පළාත් පාලන ආයතනවල නව පාලන අධිකාරියන් ද සමඟින් ප්‍රථම වරට පළාත් පාලන සතිය ඉකුත් වසරේ දී අති සාර්ථකව පැවැත්වූණා.
එබැවින් එය මෙවර ද තවත් සංවිධානාත්මකව, ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් ගණන ද ඉහළ නංවමින් මහජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ලැබෙන අයුරින් ක්‍රියාවට නැගීමට සියලු කටයුතු සැලසුම් කර ඇත.
ඒ අනුව,
සැප්තැම්බර් 14 – ජංගම සේවා සහ ආදායම් ප්‍රවර්ධන දිනය
සැප්තැම්බර් 15 – මහජන උපයෝගීතා දිනය (ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව)
සැප්තැම්බර් 16 – පරිසර සහ රුක් රෝපණ දිනය (ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව)
සැප්තැම්බර් 17 – සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය (ලෝක රෝගී සුරක්ෂිතතා දිනයට සමගාමීව)
සැප්තැම්බර් 18 – සාහිත්‍යය, අධ්‍යාපන, පුස්තකාල සහ ක්‍රීඩා දිනය (සාහිත්‍ය මාසයට සමගාමීව)
සැප්තැම්බර් 19 – උදෑසන Clean ශ්‍රී ලංකා “අත්තම” වැඩසටහන හා සවස සහතික පත්‍ර ප්‍රදානය සහ සමාප්ති උළෙල,
මෙවර පළාත් පාලන සතියේ වැඩසටහන් සැලසුම් කර ඇත.
එසේම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, Clean ශ්‍රී ලංකා වැඩසටහන, ශ්‍රී ලංකා පොලීසිය, මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශ හා රාජ්‍ය මෙන්ම පෞදගලික ආයතන ද රැසක් දිවයිනේ පළාත් පාලන ආයතන 341ම සමඟ එක්ව වැඩසටහන් 4,000කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී සැලසුම් කර තිබෙනවා.
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා කියා සිටියේ,
“පසුගිය වසරේ ද මෙම දිනවලදීම සියලුම පළාත් පාලන ආයතනවල සහභාගිත්වයෙන් සාර්ථක ලෙස පළාත් පාලන සතිය පවත්වා වැඩසටහන් 3,000කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට හැකිවුණා. මෙවරද ගිය වසරටත් වඩා වැඩි ක්‍රියාකාරකම් ප්‍රමාණයකින් සහ ජනතා සහභාගිත්වයකින් යුතුව මෙම සතිය සංවිධානය කර තිබෙනවා. ඒ සඳහා වන මූලික සංවිධාන කටයුතු මේ වන විටත් අවසන් කර තිබෙනවා. ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත්වීම සුරක්ෂිත කරන පරිසරයක් නිර්මාණය කරමින් අනාගත දැක්ම තහවුරු කෙරෙන පුනරුදයේ පුරවරයක් බිහිකිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් සමුදාය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලුම පළාත් පාලන ආයතනවලට ගෞරවයෙන් ආරාධනා කරනවා.”
