EPF සහ ETF වලට කරන්න යන අලුත්ම දේ මෙන්න


සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සියලු කාර්යයන් රජය, සේවායෝජකයින් සහ සේවකයින් නියෝජනය කරන ත්‍රෛපාර්ශ්වික මණ්ඩලයක් යටතේ ඒකාබද්ධ පාලන රාමුවක් යටතට පත් කිරීමේ ශක්‍යතාව පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුවක් පත් කිරීමට කම්කරු අමාත්‍යතුමා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ ස්ථාපිත සේවක අර්ථසාධක අරමුදල මඟින් සාමාජිකයන් මිලියන 2.5කට අධික සංඛ්‍යාවක් ආවරණය කරන බව සඳහන්. ඒ අනුව එහි වත්කම් රුපියල් ට්‍රිලියන 4.9 ඉක්මවන බව වාර්තා වේ.

එමෙන්ම සේවක අර්ථසාධක අරමුදලේ භාරකාරිත්වය, ආයෝජන කළමනා කරණය, මුල්‍ය පරිපාලනය සහ සාමාජික ප්‍රතිලාභ ගෙවීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වුවත් සේවා යෝජකයින් සහ සේවකයින් ලියාපදිංචි කිරීම, අනුකූලතාව බලාත්මක කිරීම, හිඟ මුදල් අයකර ගැනීම සහ පනත යටතේ සේවක අයිතිවාසිකම් නීතිමය වශයෙන් ආරක්ෂා කිරීමේ වගකීම කම්කරු දෙපාර්තමේන්තුව සතුව ඇත.

මේ අතර 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත මඟින් පිහිටුවන ලද සේවා නියුක්තයන්ගේ භාර අරමුදල, සේවායෝජකයින් සහ සේවකයින් නියෝජනය කරනු ලබන ත්‍රෛපාර්ශ්වික මණ්ඩලයක් මඟින් පාලනය වේ.

මෙම අරමුදලෙන් මේ වන විට ක්‍රියාකාරී සාමාජිකයින් මිලියන 3 කට අධික සංඛ්‍යාවක් ආවරණය වන අතර, එහි වත්කම් ප්‍රමාණය බිලියන 637.5 ක් ඉක්මවා ගොස් තිබෙනවා. සමාජ ආරක්ෂණය උදෙසා ත්‍රෛපාර්ශ්වික පාලනයක් පැවතීම ජාත්‍යන්තරව පිළිගත් හොඳම පිළිවෙතක් වන අතර, එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය මඟින් ප්‍රවර්ධනය කරනු ලබන මූලික මූලධර්මයක් වේ.

ඒ අනුව සාමාජිකයන්ගේ වත්කම් පිළිබඳව පුර්ණ නීතිමය සහ මුල්‍යමය ආරක්ෂාව තහවුරු කරමින් ජාත්‍යන්තර හොඳම පිළිවෙත් හා අනුකූලව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සියලු කාර්යයන් රජය, සේවායෝජකයින් සහ සේවකයින් නියෝජනය කරන ත්‍රෛපාර්ශ්වික මණ්ඩලයක් යටතේ ඒකාබද්ධ පාලන රාමුවක් යටතට පත් කිරීමේ ශක්‍යතාව පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුවක් පත් කිරීමට කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post