
පාසල් ආපනශාලාවල අලෙවි කිරීම තහනම් ආහාර ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරයි .
දැරිය හැකි, ආරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර සපයන ශිෂ්‍ය හිතකාමී ආපනශාලා පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් හඳුන්වා දී ඇති “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශ” යටතේ පාසල් ආපනශාලාවල අලෙවි කිරීම තහනම් ආහාර සහ පාන වර්ග පිළිබඳ විස්තර සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම මාර්ගෝපදේශ අනුව, රෝග වාහකයන්ගෙන් තොර පිරිසිදු හා ආරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යාම, ආපනශාලා කටයුතු අඛණ්ඩව අධීක්ෂණය කිරීම සහ ආහාර හසුරුවන්නන්ගේ පුද්ගලික සනීපාරක්ෂාව හා වගකීම් පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම අවශ්‍ය වේ.
එමෙන්ම, දරුවන්ගේ ආහාර රුචි අරුචිකම්, පෝෂණ අවශ්‍යතා සහ දේශීය ආහාර සංස්කෘතිය සැලකිල්ලට ගනිමින් ආහාර මෙනු සැලසුම් කළ යුතු බව ද මාර්ගෝපදේශවල සඳහන් වේ.
තහනම් කර ඇති ආහාර සහ පාන වර්ග සෞඛ්‍ය අමාත්‍යාංශය අනුව, පාසල් ආපනශාලාවල පහත සඳහන් ආහාර සහ පාන වර්ග අලෙවි කිරීම තහනම් කර ඇත.
සොසේජස්, මීට්බෝල්ස්, බේකන් සහ හැම් වැනි සැකසූ මස් වර්ග සහ ඒවා යොදා සකස් කරන ලද බර්ගර්, හොට් ඩෝග් සහ පීසා වැනි ආහාර.
පේස්ට්‍රි, ඩෝනට්ස්, එක්ලෙයාර්, බිස්කට් සහ කේක් ඇතුළු පිටි සහ සීනි අධික ආහාර. ක්ෂණික නූඩ්ල්ස්, සුප් කැට, කුළුබඩු කුඩු සහ ටින් කළ අච්චාරු වැනි ක්ෂණික ආහාර සහ රසකාරක.
චුයින්ගම්, ටොෆි, ලොලිපොප්, පුඩිං, අයිස්ක්‍රීම් සහ අනෙකුත් සැකසූ අතුරුපස වැනි සීනි බහුල රසකැවිලි. බූන්ඩි, මස්කට්, දොඩෝල්, මුරුක්කු සහ විවිධ නිස්සාරණය කළ කෙටි ආහාර ඇතුළු ලුණු බහුල ආහාර. කාබනීකෘත පාන වර්ග, අධික සීනි සහිත බීම, රස කළ කිරි සහ යෝගට් පාන, ශක්තිජනක පාන සහ ක්ෂණික තේ හෝ කෝපි වැනි සෞඛ්‍යයට අහිතකර පාන වර්ග.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, පාසල් දරුවන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීම සහ බෝ නොවන රෝගවලට හේතු විය හැකි ආහාරවලට නිරාවරණය වීම අවම කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවයි.
