හානියට පත් උඩරට දුම්රිය ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්


දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ, නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා වූ මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් සියල්ල එළැඹෙන සෙනසුරාදා 20 වැනිදා දින සිට යළිත් නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

හැටන් ලංගම ඩිපෝවේ පවතින විවිධ අඩුපාඩුකම් සහ ප්‍රවාහන ගැටලු සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා අද 17 වැනිදා එහි පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත මේ බව නිල වශයෙන් අනාවරණය කළේය.

සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට සිදු වූ බරපතළ හානි නිසා මේ වනවිට දුම්රිය ධාවන කටයුතු බදුල්ල සහ අඹේවෙළ යන දුම්රිය ස්ථානවලට පමණක් සීමා වී පවතින බව ද මෙහිදී අනාවරණය විය.

සුළි කුණාටුවෙන් තැනින් තැන නායයාම් සහ ගස් කඩා වැටීම් නිසා විනාශයට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ සෙසු සියලුම කොටස් ද කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් ඉතාමත් වේගවත්ව සිදුවෙමින් පවතින බව ද මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි සැප්තැම්බර් මාසයේ සිට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා වූ සමස්ත උඩරට දුම්රිය මාර්ගය පුරාම සම්පූර්ණයෙන්ම මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව ධාවනය කිරීමට හැකිවනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post