
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති කිරීමට බලපාන එල් - නිනෝ තත්ත්වයේ වර්ධනය මේ වන විට ආරම්භ වි ඇති බව දන්වා ඇත.
ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ නිරිතදිග ප්‍රදේශයේ වර්ෂාපතනය අඩු වීමටද මෙම එල් - නිනෝ තත්ත්වය බලපා ඇති බවයි.
එසේම ඔහු පැවසුවේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ලබන ජූලි මාසයේ සිට යම් අඩුවීමක් බලාපොරොත්තු වන බවයි.
තවද එල් - නිනෝ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා දන්වා සිටියා.
ඊට අමතරව මෙම තත්ත්වයට මුහුණ දීමට ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෙරිල් මෙන්ඩිස් මහතා,
"ශ්‍රී ලංකාවේ කාලගුණයට කරන බලපෑම ගත්තොත් නිරිතදිග ප්‍රදේශයේ වර්ෂාපතනය අඩුවීම එල් - නිනෝ තත්ත්වය බලපානවා. කෙසේ නමුත් ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වර්ෂාපතනයේ යම් අඩුවීමක් අපි බලාපොරාත්තු වෙනවා මේ එල් - නිනෝ තත්ත්වය එක්ක. මොකද මේ වෙනකොට එල් - නිනෝ තත්ත්වය වර්ධනය වීම ආරම්භ වෙලා තියෙනවා. මේ නිසා ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. පවතින ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමතියි මොකද ඉදිරි කාලගුණික තත්ත්වය හමුවේ වර්ෂාපතනය අඩුවීමත් එක්ක උණුසුම වැඩිවීමේ හැකියාවක් තියෙනවා"
