
අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු ඇගවීම් හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇත.
ඒ අනුව විදෙස් වාර්තාවල සඳහන් වූයේ බොරතෙල් මිල නැවත 3%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවයි.
එසේම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 3.75%කින් ඉහළ ගොස් ඩොලර් 97.8ක් වශයෙන් සටහන්ව ඇති බව වාර්තා වේ.
අමෙරිකාව සහ ඉරානය සාකච්ඡා වෙනුවෙන් යොමුවීමේ සූදානමක පසුවූ අවස්ථාවක මෙසේ නැවත දෙපාර්ශවය අතර ගැටුම්කාරී වාතාවරණයක් හටගෙන තිබෙන අතර අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අද අලුයම් කාලයේ ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකාවේ කඳවුරු වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසා ඇත.
කෙසේ වෙතත් ඉරානය විසින් කුමන රටක පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළේ ද යන්න නිශ්චිතව දක්වා නොමැත.
එහෙත් කුවේට් ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර කිහිපයක් වැළැක්වීමට කටයුතු කළ බවයි.
