
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල හා ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් දෙනු ලැබේ.
මෙයට අමතරව, කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සාමාන්‍ය වේගය පැ.කි.මී. 25–35 අතර වනු ඇත. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලදී සුළං වේගය විටින් විට පැ.කි.මී. 45 දක්වා වැඩි විය හැක
එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන අතර, දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය සිට මද රළු තත්ත්වයක් ගනී. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං හේතුවෙන් මුහුද ඉතා රළු විය හැකි බවද දැනුම් දේ.