වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2 දක්වා - අමතර නිවාඩු දිනයක් ගැන විශේෂ නිවේදනයක්


මෙරට සම්ප්‍රදායික දින දර්ශනයට අනුව වරින් වර යෙදෙන අධි මාස තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය දිනය මැයි මස 30 වැනිදා සැමරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ පවසනවා.

අද (22)  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ පිළිබඳව දැනුම්දෙනු ලැබුවා.

සාමාන්‍ය දින දර්ශනයට අනුව වෙසක් පොහය මැයි මස 01 වැනිදාට යෙදී තිබුණද, අතිගෞරවනීය මහානායක හාමුදුරුවන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි එය මැයි මස 30 වැනිදා දක්වා සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

දින දර්ශනය පරීක්ෂා කිරීමේදී වසර කිහිපයකට වරක් අධි වෙසක්, අධි පොසොන් හෝ අධි ඇසළ වශයෙන් මාසයන් ද්විත්ව වන අවස්ථා උදාවන බවත්, මෙවර වෙසක් උත්සවය සම්බන්ධයෙන් ද එම තත්ත්වය බලපා ඇති බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නා.

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසන්නේ, නව සංශෝධනයට අනුව මෙවර වෙසක් සතිය මැයි මස 27 වැනිදා සිට ජුනි මස 02 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

වෙසක් පොහොය නිමිත්තෙන් ප්‍රකාශයට පත් කෙරෙන රජයේ නිවාඩු දින පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කිරීමක් කළා.

සාමාන්‍යයෙන් වෙසක් පුර පසලොස්වක පොහොය දිනට පසු දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙන බව අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව, මින් පෙර මැයි මස 01 වැනිදාට වෙසක් පොහොය යෙදී තිබුණේ නම් මැයි 02 වැනිදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ වීමට නියමිතව තිබූ නමුත්, වෙසක් පොහොය මැයි 30 වැනිදා දක්වා සංශෝධනය වීමත් සමඟ එම නිවාඩු දිනය මැයි 31 වැනිදා දක්වා වෙනස් වන බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පෙන්වාදුන්නා.

මැයි මස 31 වැනිදා ඉරිදා දිනයක් වුවද, මීට පෙර අවස්ථාවලදී ද වෙසක් පොහොයට පසු දිනය ඉරිදා දිනයක් ලෙස යෙදුණු සෑම විටම එම නිවාඩුව ප්‍රකාශයට පත් කර ඇති පූර්වාදර්ශ සැලකිල්ලට ගනිමින් මෙවර ද එම නිවාඩුව ලබා දීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

අමාත්‍යවරයා පවසන්නේ, මේ සම්බන්ධයෙන් වන නිල ගැසට් නිවේදනය ඉදිරියේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් නිකුත් කිරීමට නියමිත බවයි.

සාමාන්‍යයෙන් වෙසක් පොහොය දිනයෙන් ශ්‍රී පාද වන්දනා සමය නිමාවට පත් වන බැවින්, පොහොය දිනය වෙනස් වීමත් සමඟ වන්දනා සමය ද මාසයකින් දීර්ඝ වන්නේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ පිළිබඳව ශ්‍රී පාදස්ථානාධිපති නායක හාමුදුරුවන් වහන්සේ සහ මහානායක හාමුදුරුවන් වහන්සේලා සාකච්ඡා කොට අවශ්‍ය ඉල්ලීමක් ඉදිරිපත් කරනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post