
හැටන් නගරයේ ප්‍රධාන පාසලක සිසුවෙකුට පහරදීම සම්බන්ධයෙන් වූ සිද්ධියේදී පොලිස් භාරයට ගැනුණු සිසුන් තිදෙනා එළඹෙන අප්‍රේල් 06 වැනිදා දක්වා වේරලවත්ත ළමා සුරැකුම් මධ්‍යස්ථානය වෙත භාර දෙන ලෙස නියෝග කර තිබේ.
හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
අදාළ සිසුන් තිදෙනා පසුගිය 28වනදා මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතර මීට සති තුනකට පෙර ගැටුමක් අතිව තිබුණි.
අදාළ ගැටුමට පාසලේ ආදි සිසුවෙකු ද සම්බන්ධවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණවී තිබේ.
කෙසේවෙතත් එම සිද්ධිය පාසලේදී සමතයකට පත්වීමෙන් අනතුරුව අදාළ පහරදීමේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
ඉන් අනතුරු පහරකෑමට ලක්වූ බව කියන සිසුවාගේ මව විසින් 28වනදා හැටන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව සිදු කළ විමර්ශනයකදී පහර දුන්නේයැයි කියන සිසුන් දෙදෙනෙකු සහ ආදි සිසුවෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කරනු ලැබීය.
පහරකෑමට ලක් වුයේ යැයි කියන සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කෙරිණි.