
මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් විශේෂ කතාවක් ගැනයි.
ලෝකයේ බොහෝ රටවල අවදානය දිනාගත්ත ඒ ගුවන් අනතුර ගැන ඇසෙන්නේ මෙන්න මේ වගේ කතාවක්.
සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල මුහුදු වෙරළට, තාක්ෂණික දෝෂයකට ලක්වූ මගී ගුවන් යානයක් සාර්ථකව ගොඩබැස්වීමට ගුවන් නියමුවෙකු සමත්ව තිබෙනවා.
Starsky Aviation සමාගමට අයත් මෙම Fokker 50 වර්ගයේ ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 50 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 55 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වෙන්නේ
ඔවුන් සියලු දෙනාම කිසිදු බරපතල තුවාලයකින් තොරව දිවි ගලවා ගැනීමට සමත්ව තිබෙනවා.
අඟහරුවාදා උදෑසන මොගඩිෂු ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී සුළු මොහොතකින් යානයේ තාක්ෂණික දෝෂයක් ඇති බව නියමුවන් හඳුනාගෙන ඇති අතර ඒ අනුව වහාම නැවත ගුවන් තොටුපළ වෙත යානය හැරවීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.
ගුවන් යානය ධාවන පථයට ස්පර්ශ වුවද, එය පාලනය කරගැනීමට නොහැකිව ධාවන පථයෙන් ඉවතට පැන ගොස් ඉන්දියන් සාගරයට මායිම් වූ වෙරළ තීරයේ නොගැඹුරු දියේ නතර වී ඇති බවයි සඳහන් වෙන්නේ.
ගුවන් සමාගමේ ප්‍රකාශක හසන් මොහොමඩ් ඒඩන් සඳහන් කළේ, නියමුවා ගත් ක්ෂණික සහ බුද්ධිමත් තීරණය හේතුවෙන් විශාල ව්‍යසනයක් වැළකී ගිය බවයි.