
ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් දහස් ගණනකගේ බලාපොරොත්තු බිඳ දමමින් මෙවර ලෝක කුසලාන තරගාවලිය නිමාවීමත් සමඟ, ඒ පිළිබඳව සියලු වගකීම භාරගනිමින් නායක දසුන් ශානක විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
දසුන් පවසන්නේ ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වූ දක්ෂතා අතරට පැමිණීමට තම කණ්ඩායමට නොහැකි වීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටු වන බවයි.
සිය ෆේස්බුක් ගිණුම හරහා දීර්ඝ සටහනක් තබමින් දසුන් පවසා ඇත්තේ, ප්‍රේක්ෂකයන් තුළ ඇති වේදනාව සහ කෝපය තමා හොඳින්ම වටහා ගන්නා බවයි.
"මෙම ලෝක කුසලාන තරගාවලිය අප බලාපොරොත්තු වූ අයුරින් අවසන් නොවීම පිළිබඳව ඔබ සැම සේම මම ද දැඩි ලෙස කණගාටුවට පත්ව සිටිමි. තරගාවලියට පෙර එංගලන්තය සමඟ පැවති තරගය පරාජය වීම ඇතුළු අභියෝග රැසකට අපට මුහුණ දීමට සිදු වුවද, සත්කාරක රටක් ලෙස ඉතා පැහැදිලි සැලසුම් සහ දැඩි විශ්වාසයක් ඇතිව අපි මෙම තරගාවලියට අවතීර්ණ වීමු. එම තත්ත්වය වෙනස් කරමින් තරගාවලියේ ඉදිරියටම යා හැකි බව මම සැබවින්ම විශ්වාස කළෙමි.
මා කෙරෙහි සහ කණ්ඩායම කෙරෙහි ඔබ තුළ ඇති බලාපොරොත්තු කඩවීම, වේදනාව සහ කෝපය මම හොඳින්ම දනිමි. මා ඔබෙන් ඉතා නිහතමානීව ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හෝ අපගේ ක්‍රිකට් උරුමය ඉදිරියට ගෙන යාමට කැපවීමෙන් කටයුතු කරන ක්‍රීඩකයින් කෙරෙහි තැබූ විශ්වාසය අත් නොහරින ලෙසයි.
මිලියන සංඛ්‍යාත ජනතාවක් ජයග්‍රහණයේ සිහින දකිමින් සිටිනා මොහොතක පරාජය දරා ගැනීම කිසිසේත් පහසු නැත. මේ මොහොතේ එල්ල වන සියලු විවේචන සහ අදහස් මම නිහතමානීව පිළිගන්නා අතර, ඒ සියල්ල අපේ රටේ ක්‍රීඩාව කෙරෙහි ඔබ තුළ ඇති දැඩි ලෙන්ගතුකම නිසාම පැන නගින බව මම දනිමි. කුමන තත්ත්වයක් යටතේ වුවද, මා සැමවිටම මාගේ උපරිමය රට වෙනුවෙන් ලබා දීමට පසුබට නොවෙමි. මා සැමදා ක්‍රීඩා කළේ එකම අරමුණක් වෙනුවෙන් පමණි. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙනි.
ඔබ බලාපොරොත්තු වූ ජයග්‍රහණය ලබා දීමට නොහැකි වීම පිළිබඳව මම මාගේ කණගාටුව ප්‍රකාශ කරමි. අප කණ්ඩායම සමඟ, මා සමඟ සැමදා රැඳී සිටීම පිළිබඳව ශ්‍රී ලාංකීය ඔබ සැමට ස්තූතියි."