මේ කණ්නාඩි ඉස්සරහට බැරි වෙලාවත් යන්න එපා

නවීන තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් කණ්නාඩි (Smart Glasses) භාවිත කරමින් කාන්තාවන් රහසිගතව වීඩියෝ කර ඔවුන්ව අන්තර්ජාලය හරහා අපහසුතාවයට පත් කිරීමේ නව ප්‍රවණතාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඒ අනුව ස්මාර්ට් ජංගම දුරකථනයක මෙන් සිතියම් බැලීමට, සංගීතයට සවන් දීමට සහ වීඩියෝ පටිගත කිරීමට මෙම කණ්නාඩි භාවිතා කළ හැකි බව සඳහන්.

එමෙන්ම උනා නම් කාන්තාවක් සඳහන් කළේ තමා නොදැනුවත්වම සහ තම අනුමැතියකින් තොරව පුද්ගලයෙකු ස්මාර්ට් කණ්නාඩි මඟින් ඇයව වීඩියෝ කළ බවයි.

ඉකුත් ජුනි මාසයේ බ්‍රයිටන් වෙරළේ අව්ව තපින අතරතුර පුද්ගලයෙකු ඇගෙන් දුරකථන අංකය ඉල්ලා ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කර ඇත.

ඉන්පසු ඇය දුටුවේ එම පුද්ගලයාගේ දෘෂ්ටි කෝණයෙන් පටිගත කළ එම වීඩියෝව ටික්ටොක් වෙත මුදාහැර තිබෙන බවයි.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම වීඩියෝවට මිලියනයකට වඩා නැරඹුම් වාර ලැබී තිබූ අතර ලිංගිකව අපහාසාත්මක ප්‍රතිචාර සිය ගණනක් ලැබී තිබූ බවයි.

එමෙන්ම තවත් කාන්තාවක වන කේට් ද මෙසේ ව්‍යායාම් මධ්‍යස්ථානයකදී ඇගේ අංකය ඉල්ලූ පුද්ගලයෙකුට එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පසු දිනයේ එම වීඩියෝව අන්තර්ජාලයට දමා තිබෙනවා. එය පැය 6ක් ඇතුළත 50,000 වාරයක් නරඹා තිබූ බව පවසයි.

ඒ අනුව ඇය පවසන්නේ, පෞද්ගලික ලාභය සහ ප්‍රසිද්ධිය සඳහා කරන මෙවැනි ක්‍රියා හේතුවෙන් තමා දැඩි මානසික පීඩනයකට පත්ව තිබෙන බවයි.

කෙසේ වෙතත් පසුගිය 2014 දී ස්ටර්ලින් පවුම් 1,000කට අලෙවි වූ ගූගල් ග්ලාස් (Google Glass) පෞද්ගලිකත්වය පිළිබඳ ගැටළු හේතුවෙන් 2015 දී අලෙවිය නතර කළා. එහෙත් මෙම වසරේදී නැවතත් AI තාක්ෂණය සහිත ස්මාර්ට් කණ්නාඩි වෙළඳපොළට එවීමට ගූගල් සැලසුම් කර ඇත.

එසේම මෙටා සමාගම 2021 සිට ස්මාර්ට් කණ්නාඩි අලෙවි කරන අතර ඉකුත් වසරේ පෙබරවාරි සිට මේ දක්වා කණ්නාඩි යුගල මිලියන 2ක් පමණ අලෙවි කර තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් මෙම කණ්නාඩි සාමාන්‍ය කණ්නාඩිවලට සමාන බැවින් ඒවා හඳුනා ගැනීම අපහසු බව විශේෂඥයෝ කියා සිටියි. මෙටා සමාගම මෙහි පටිගත කිරීමේදී දැල්වෙන LED ආලෝකයක් ඇති බව පැවසුවත් එම ආලෝකය නිවා දැමීමට හෝ වසා තැබීමට හැකි ක්‍රම අන්තර්ජාලයේ ඇති බවත්, එම ක්‍රම සාර්ථක බවත් බීබීසී පරීක්ෂණ ඔස්සේ තහවුරු වී ඇත.

එසේම වින්දිතයන් සඳහන් කරන්නේ තමන් වීඩියෝ වන විට එවැනි කිසිදු ආලෝකයක් නොදුටු බවයි. කෙසේ වෙතත් පොලිසිය ප්‍රකාශ කළේ ප්‍රසිද්ධ ස්ථානයක වීඩියෝ කිරීම නීති විරෝධී නොවන බැවින් මෙවැනි අවස්ථාවලදී කළ හැකි දෙයක් නොමැති බවයි. එහෙත් මෙය හිරිහැර කිරීම හෝ ලුහුබැඳ යාම යටතේ නීතිමය පියවර ගැනීමට හැකියාව පවතී.

ආචාර්ය ජේසන් නර්ස් පෙන්වා දෙන්නේ තාක්ෂණය දියුණු වන වේගයට සාපේක්ෂව නීති පද්ධතිය දියුණු නොවීම මෙහි ඇති ප්‍රධාන ගැටළුවක් බවයි.

මේ අතර බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ජාතික හදිසි තත්ත්වයක් ලෙස සලකා මෙවැනි තාක්ෂණික මෙවලම් හරහා සිදුවන අපරාධ මැඩලීමට නව උපාය මාර්ග සකස් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post