දවල් නින්ද හොඳඳ? නරකඳ?


ආයුර්වේදයට අනුව නින්ද මෙසේය. ‘‘මනස ක්ලාන්ත වූ කල්හි, ඉන්ද්‍රියයන්ද ක්ලාන්ත වී දර්ශන ආදී ස්වකීය විෂයන්ගෙන්ද විරත වෙත්ද එකල්හි මනුෂ්‍යයා “නිද්‍රිත” යැයි චරක සංහිතාවේ දක්වා ඇත. එසේම මෙසේද දක්වා ඇත.

‘‘මනුෂ්‍යයාගේ සැප-දුක, ශරීර පුෂ්ටිය හා කෘෂ බව, බල-දුබල බව, වෘෂත්වය-ක්ලීත්වය, නානය-අන්‍යනබව, ජීවිතය-මරණය යන මේ සියල්ල “නින්ද සතු වේ. අකාලයෙහි නිදීම, අධිකව නිදීම මෙන්ම නොනිදීම ද මරණය හෙවත් කාලරාත්‍රි නිද්‍රාව මෙන්ම මනුෂ්‍යයාගේ සෞඛ්‍ය හා ආයුෂ ගෙවීමට හේතු වේ. එනමුත් විධි වූ පරිදි සේවනය කළ ඒ නින්දම මිනිසා සැපවත් හා දීර්ඝායුෂ කරයි. ඒ කෙසේද කියතොත් හරියට යෝගී පුරුෂයා සිද්ධිලාභයෙන් තත්ත්ව නානය ලබන්නාක් මෙනි.’’ ඒ අනුව නින්ද අත්‍යවශ්‍ය වුවත් නිදා ගත යුතු වේලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය.

දහවල් නිද්‍රාව සුදුස්සෝ

අධ්‍යයන කටයුතුවල යෙදෙන්නන්, දැඩි වෙහෙසකර වූ කාර්යයන්වල යෙදීමෙන් පසු, දුරගමන් යාම නිසා මහන්සි වූ විට, අජීර්ණ - ක්ෂය රෝග ආදී රෝගවලින් පෙළෙන අය, වැහැරුණු සිරුරක් ඇති අය, වයසක-බාල- දුර්වල ශරීර ඇති අය, පිපාසය- අතීසාර- ශූල (වේදනා)- හතිය- හික්කා යන රෝගවලින් පෙළෙන අය, පතිත වුවන්, පහර ලැබූ අය,


මානසික ආබාධවලින් පෙලෙන්නන්, වාහන පැදවීම නිසා රෑ නිදිවැරීමෙන් වෙහෙස වූ විට, තරහ-දුක- භය ආදියෙන් පෙළුන විට දහවල් නිද්‍රාව සුදුසුය. එමෙන්ම පුරුද්දක් ලෙස සෑම කාලයකදීම දහවල් නිදීම පුරුදු වූ අයටද දිවා නිද්‍රාව සුදුසු වේ. මෙවැනි අයට දිවා නිද්‍රාව තුළින් ධාතු සාම්‍යය ඇතිවේ. ශරීර බලය හටගනී. අවයව සෙමින් පෝෂණය වේ. ආයුෂ පිළිබඳ ස්ථිරත්වය ඇතිවේ.

විශේෂ කරුණක් වන්නේ ග්‍රීෂ්ම කාලයේදී එනම් දැඩි උණුසුම් කාලයේදී දහවල වැඩි වී රැය අඩුවීම නිසා මිනිසුන්ගේ සිරුර රළු වේ. එහෙයින් එම කාලයේදී පමණක් ඕනෑම අයකුට දිවා නිද්‍රාව සුදුසු බව චරක ආචාර්යවරයා දක්වා ඇත. ග්‍රීෂ්ම ඍතුව හැර අනෙක් කාලවලදී දහවල් නිදීම නිසා සෙම හා පිත කෝප වේ. එහෙයින් එම කාලවලදී දහවල් නිද්‍රාව ප්‍රශස්ත නොවේ.

දහවල් නිද්‍රාව නුසුදුස්සෝ

සෙම් බහුල ශරීර ඇති අය, අධික තරබාරු අය එනම් මේදස් බහුල අයට දහවල් නිද්‍රාව නුසුදුසුය. එනම් කඵජ රෝගවලින් පෙළුණු අයට කිසි කලෙකත් දහවල් නිදීම අකැපය.

මෙම නුසුදුසු වූ දහවල් නිද්‍රාව හේතුවෙන් ශිර්ෂ ශූල, ඇග මැඩීම, අවයවවල බර බව, ඉදිමුම, අරුචිය, පීනස් රෝග, අර්ධවභේදක, ශරීරයේ කැසීම්, බිබිලි ආදිය දැමීම, උගුර ආශ්‍රිත රෝග, කැස්ස ආදිය ඇතිවන බව සංහිතා ග්‍රන්ථවල විස්තර කොට ඇත. එමෙන්ම ශරීර ශක්තිය දුබල වේ. බුද්ධි හානි වේ. මතක ශක්තිය අඩුවීමට හේතු වේ.

එබැවින් කෙබඳු විටකදී නින්ද හිතද, කෙබඳු විට අහිතදැයි දැන නුවනැත්තන් හිතකර වූ නින්ද සුවසේ සේවනය කළ යුතුය.

රෑ නිදිවැරීමෙන් රළු ගුණයද දහවල් නිදීමෙන් සිනිදු ගුණයද ඇති කරයි. එනමුත් ඉඳගෙන නිදිකිරා වැටීමෙන් රළු හෝ සිනිදු ගුණ ඇති නොවේ. සිරුර රැකගැනීම උදෙසා ආහාරය යම් සේ උපයෝගී වේද, එලෙසින්ම විධි වූ පරිදි සේවනය කරන නින්දද එලෙසින්ම උපයෝගී වේ. විශේෂයෙන් ස්ථුල බව හා කෘෂ බව, නින්ද- ආහාරය යන දෙකින් උපදී. නින්ද හා ආහාර අතියෝගයෙන් ස්ථුල බවද නින්ද හා ආහාර අයෝගයෙන් කෘෂ බවද හට ගනී.

වෛද්‍ය එම්. කේ. එන්.ජී සඳුන්ගම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post